දකුණු කොරියාවට අලුත් ජනාධිපතිවරයෙක්



දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ජය ගැනීමට එරට ‘ජනතා බලය’ පක්ෂය නියෝජනය කළ කොන්සවර්ටිව් මතධාරී යූන් සුක් යියෝල් සමත් විය. මේ වනතුරු දකුණු කොරියාවේ විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකුණේ ‘ජනතා බලය’ පක්ෂයයි.

ඒ අනුව, පාලක පක්ෂය ලෙස කටයුතු කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට බලය අහිමි වෙයි. ‘ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ලී ජේ මියුංග් ය.

ප්‍රතිඵල නිකුත් වෙද්දී, යූන් සුක් යියෝල් සහ ලී ජේ මියුංග් අතරේ පැවැතියේ තියුණු සටනකි. සියයට 98 ක් ඡන්ද ගණන් කර අවසන් වෙද්දී, යූන් සුක් යියෝල් සහ ඔහුගේ ‘කොන්සවර්ටිව්’ පක්ෂය ආසන 48.6 ක් දිනාගෙන තිබුණු අතර, ‘ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය’ හිමි කර ගත්තේ සියයට 47.8 ක් පමණි. ඒ අනුව තමන් පරාජය බාර ගන්නා බව ලී ජේ මියුංග් පැවැසුවේය.

ජීවන වියදම ඉහළ යෑම, ආර්ථික අර්බුද, විරැකියාව සහ උතුරු කොරියාව සමග කටයුතු කිරීම ආදී අර්බුද රැසක් සමග නව ජනාධිපති ලෙස තේරී පත් වුණු යූන් සුක් යියොල් ට ගැටීමට සිදුවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 61 හැවිරිදි යූන් සුක් යියොල් කීර්තිමත් නීතීඥවරයකු මෙන්ම විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් හසළ දැනුමක් ඇති අයකු බව ද පැවැසෙයි.

ඇමෙරිකාව සහ දකුණු කොරියාව අතර පවතින්නේ යහපත් සබඳතාවකි. ධවල මන්දිරය නව ජනාධිපති ලෙස තේරී පත් වුණු යූන් සුක් යියොල් ට සුබ පැතීමට ද අමතක නොකළේය. ජෝ බයිඩන් පවසා ඇත්තේ දෙරට අතර සබදතා තව තවත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බවය.

(රොයිටර්)


RECOMMEND POSTS