තෙවැනි වරටත් ජින්පින් ජනාධිපති ධුරයට



චීනයේ පාලක කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයේ දිගටම රැඳී සිටීමට අවස්ථාව උදා වීමත් සමඟ ෂී ජින්පින් තෙවැනි වරටත් චීන ජනාපධිති ධුරයට පත් විය.

චීනය පාලනය කරනු ලබන්නේ ‘කොමියුනිස්ට්’ පක්ෂ විසිනි. ‘කොමියුනිස්ට්’ පක්ෂයේ සභාපතිවරයා රටේ නායකයා මෙන්ම සේනාධිනායකයා ද වෙයි.

පසුගිය සතිය පුරාවට ‘කොමියුනිස්ට්’ පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රස් සමුළුව, බෙයිජීං අගනුවර මහජන ශාලාවේ පැවැත්වුණේ පක්ෂ සාමාජිකයන්ගේ සියලු දෙනාගේ ප්‍රධානත්වයෙනි.

‘කොමියුනිස්ට්’ පක්ෂ කොංග්‍රස් සමුළුව අවසන් වූ අතර, පක්ෂ සභාපති ධුරය සඳහා ෂී ජින්පින් යළි තෝරා ගැනීම සිදුවිය.
ඊට අමතර, පක්ෂයේ තීන්දු තීරණ ගන්නා මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ලෙස තෝරා පත් කර ගැනීම සිදුවූයේ ද ජින්පින්ගේ හිතවාදීන්ය.

මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් ගණන 200 කට වැඩිය. ඔවුන් සියලු දෙනාට වඩා ඉහළින් සිටින්නේ පක්ෂ සභාපති ෂී ජින්පින්ය. කාන්තාවන් කිසිවකු මෙම සාමාජිකයන් අතර නැත.

පිටපිට තෙවරක් ‘කොමියුනිස්ට්’ පක්ෂ නායකත්වයටත්, චීන ජනාධිපති ධුරයටත් පත්වුණු නායකයා ෂී ජින්පින්, මාඕ සේතුංගෙන් පසු චීනයේ බිහිවුණු ප්‍රබලතම නායකයා ලෙස පිළිගැනෙයි.

මේ අතර, චීන කොමියුනිස්ට් පක්ෂ සමුළුව අතරතුරේ ඊට සහභාගී වී සිටි චීනයේ හිටපු ජනාධිපතිවරයකු වන හූ ජින්තාඕ හිටිහැටියේ සමුළුවෙන් ඉවත් කිරීමට නිලධාරීන් දෙදෙනකු කටයුතු කළ අතර එම සිදුවීම බටහිර මාධ්‍යවල වැඩි අවධානයක් දිනා ගත්තේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ එක් වී, ෂී ජින්පින් පක්ෂ නායකත්වයෙන් සහ ජනාධිපති ධුරයෙන් ඉවත් කිරිමට කුමන්ත්‍රණයක් මෙහෙයවූයේ යැයි මීට සති කීපයකට පෙර ඇමෙරිකන් සහ ඉන්දීය මාධ්‍ය පුවත් වාර්තා කර තිබුණි. චීන ජනාධිපති ෂී ජින්පින් නිවාස අඩස්සියට පත් කළ බවටත්, චීනයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණු බවටත් රාවයක් පැවැතිණි.

ෂී ජින්පින්ට පෙර, කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වූයේත්, ජනාධිපතිවරයා වූයේත් හූ ජින්තාඕ ය. පක්ෂ කොංග්‍රස් සමුළුව අවසන් දිනයේ කටයුතු පැවැත්වෙද්දී, නිලධාරීන් දෙදෙනකු පැමිණ ෂී ජින්පින් අසල අසුන් ගෙන සිටි හූ ජින්තාඕ සමුළුවෙන් ඉවතට රැගෙන ගියේ ජින්තාඕ ඊට විරෝධය දක්වද්දීව. ඒ බව එම සිදුවීමට අදාල රූප රාමු විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වෙද්දී පැහැදිලිව දකින්න ලැබුණි.

එම සිදුවීම සම්බන්ධයෙන් චීන ‘කොමියුනිස්ට්’ පක්ෂය, පසුව මාධ්‍ය හමුවේ කියා සිටියේ, 79 හැවිරිදි හූ ජින්තාඕ අසනීප තත්ත්වයකින් පසුවුණු බවත්, ඔහුගේ ආධාරකරුවන් පැමිණ ඔහු ඉවතට රැගෙන ගිය බවත්, පසුව ඔහුගේ රෝගී තත්ත්වය සුව අතට හැරුණු බවත්ය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS