තෙවැනි මාත්‍රාවක් දෙන්න හදිස්සි වෙන්න එපා



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීමට බූස්ටරයක් (ප්‍රවර්ධකයක්) ලෙස තෙවැනි මාත්‍රාවක් ලබා දීම නොව මේ මොහොතේ කළ යුත්තේ ලෝකය එකට එක් වී, සෑම රටකම සෑම කෙනකුටම නියමිත එන්නත් මාත්‍රා දෙක ලබා දීම යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ පෙන්වා දුන්නේ, ඊශ්‍රායලය, මහා බ්‍රිතාන්‍යය සහ ජර්මනිය ආදී රටවල් එම රටවල වැසියන්ට, බූස්ටරයක් ලෙස තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීම ආරම්භ කර ඇති සහ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බැවිනි.
තෙවැනි මාත්‍රාවක් ලෙස ලබා දෙන්නේ ද පළමු සහ දෙවැනි මාත්‍රාව ලෙස ලබා දුන් එන්නතේම තවත් මාත්‍රාවකි.

'කොරෝනා විකෘතිවලින් ආරක්ෂා වීමට තෙවැනි එන්නත් මාත්‍රාවක් එසේත් නැතිනම් ප්‍රවර්ධකයක් ලබා දීම අවශ්‍ය බව පෙනී යනවා. ඒත් මේ මොහොතේ එසේ කළ යුතු වන්නේ නැහැ. අප කළ යුතු වන්නේ ලබන සැප්තැම්බර් අවසන් වීමට කලින් ලෝක ජනගහනයෙන් සියයට 75 කට කෙසේ හෝ එන්නත් ලබා දීමයි. ලබා දිය යුතු ප්‍රධාන එන්නත් මාත්‍රා ලබා දීමෙන් පසු තෙවැනි මාත්‍රාවක් ගැන අවධානය යොමු කිරීමයි මේ මොහොතේ කළ යුත්තේ.

තවමත් අප්‍රිකා කලාපීය රටවල වැසියන්ට එන්නත් මාත්‍රා එකක්වත් ලැබී නැති අවස්ථා තිබෙනවා. එන්නත් සමානව ලොව පුරා බෙදා හැරීම කළ යුතු වුවත් එවැන්නක් සිදුවන්නේ නැහැ. ඒ නිසා ඒක් රටක ජනගනයෙන් සියයට 10 ක් හෝ එන්නත්කරණය කරනා තෙක් තෙවැනි මාත්‍රාව ප්‍රමාද කිරීමයි කළ යුත්තේ' යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ගෙබ්‍රියේසිස් ජිනීවා නුවර පැවැත් වූ මාධ්‍ය හමුවකදී පැහැදිලි කර තිබේ.

මේ වනවිට ලොව සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 201,007,989 ක් පසු කර තිබුණු අතර, සමස්ත මරණ වාර්තා වූයේ 4,270,300 ක් ලෙසය. 'කොවිඩ් 19' ආසාදනය වී සුවය ලැබූ ගණන වාර්තා වූයේ 181,013,335 ක් ලෙසය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වනවිට රටවල් 180 කට වැඩි ගණනක වැසියන්ට එන්නත් මාත්‍රා බිලියන 4.27 ක් ලබා දි අවසන්ය. ලොව පුරා දිනකට එන්නත් මාත්‍රා 42,703,370 ක් ලබා දීම සිදුවන බවත්, මෙය අඩු වැඩි වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා සඳහන් කරයි. පවතින වේගයෙන් එන්නත්කරණය සිදුවුවහොත් ලෝක ජනගහනයෙන් සියයට 75 කට එන්නත් ලබා දී අවසන් කිරීමට නම්, තවත් මාස 6 ක් පමණ ගතවනු ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS