තායි රජු අංගාරක්ෂක නිලධාරිනිය බිසව කර ගනී



තායිලන්තයේ මහා වජිරලෝන්කෝන් රජු විවාහ වූ බවත්, රජු බිසව ලෙස තෝරා ගත්තේ සිය නියෝජ්‍ය අංගාරක්ෂක නිලධාරිනිය ජනරාල් සුතීඩා තිජායි බවත් රාජකීය නිවේදනයක සඳහන් වෙයි.

තායිලන්ත රජ පෙළපතට අනුව, රජුගේ බිරිඳ නිල වශයෙන් ‘රැජින’ යනුවෙන් හැඳින්වෙයි. ඒ අනුව, රජ බිසව බවට පත් වුණු සුතීඩා තිජායි මින් ඉදිරියට තායිලන්ත රැජින යන නමින් හැඳින්වෙයි.

තායිලන්ත කිරුළ හිමිවීමට පෙර, වජිරලෝන්කෝන්, 2014 වසරේ සිට සුතීඩා තිජායි සමඟ සමීප ඇසුරක් පවත්වා ඇත.

වජිරලෝන්කෝන්, රජු තෙවරක් විවාහ වී දික්කසාද වූ අයෙකි. වජිරලෝන්කෝන් සහ සුතීඩා වසර කිහිපයක සිට ප්‍රසිද්ධියේ පෙනී සිටියත්, දෙදෙනාගේ පෙම් සබඳතාවක් ඇති බව ප්‍රසිද්ධියට පත් නොවිණි.

තායිලන්ත රැජින බවට පත්වීමෙන් පසු ජනරාල් සුතීඩා තිජායිගේතීඩා වජිරලෝන්කෝන් නා අයුන්දා යන නමින් වෙනස් වන බව ද රාජකීය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබේ.

විවාහ මංගලෝත්සවය ඉතා චාම් අයුරින්, තායිලන්ත රජ පෙළපතේ සම්ප්‍රදායට අනුව පැවැත්විණි. විවාහය ලියාපදංචි කෙරුණේ, සුතීඩා තිජායි රජු අසල දණින් වැටි සිටිද්දී, රජු පිරිත් පැන් ඇගේ හිසට ඉසීමෙනි.

මහා වජිරලෝන්කෝන් තායිලන්ත රජු බවට පත් වූයේ තායිවැසියන්ගේ ඉමහත් ආදරයට සහ ගෞරවයට පාත්‍ර වී සිටි භූමිබෝල් රජුගේ අභාවයෙන් පසුවය. භූමිබෝල් රජුගේ අභාවය සිදුවූයේ 2016 වසරේදීය. භූමිබෝල් රජු 2016 වසරේ දී අභාවප්‍රාප්ත වෙද්දී, වසර 70 ක් රජකර හෙබවීය.

තෙවැනිවර දික් කසාද වීමෙන් පසු වජිරලෝන්කෝන් තායිලන්ත රජු ලෙස කිරුළු දැරීමට පෙර සිටම, ආරක්ෂක අංශ නිලධාරිනී සුතීඩා තිජායි සමඟ සමීප ඇසුරක් පැවැත්වීය. දෙදෙනා ප්‍රසිද්ධියේ පෙනී සිටි අවස්ථා බොහොමයකි. සුතීඩා තිජායි තම අංගාරක්ෂයන් කණ්ඩායමට බඳවා ගෙන ඇත්තේ වජිරලෝන්කෝන් ය.

ඒ, 2014 වසරේදීය. සුතීඩා තිජායි ‘තායි එවාර්වේස්’ ගුවන් සේවයේ ගුවන් සේවිකාවක ලෙස ද රැකියාව කළ සාමාන්‍ය පවුලක තරුණියකි. සුතීඩා තිජායි හමුදා නිලධාරිනියකි. වජිරලෝන්කෝන් මැදිහත් වී, සුතීඩා තිජායි හමුදා ජනරාල්වරියක ලෙස උසස් කෙරුණේ 2016 දීය.

භූමිබෝල් රජුගේත් සිරිකින් රැජිනගේත් එකම පුත්‍රයා වන්නේ මහා වජිරලෝන්කෝන් රජුය. වජිරලෝන්කෝන් උපත ලැබුවේ 1952 වසරේ ජූලි 28 වැනිදාය. 1972 වසරේ දී, ඔටුන්න හිමි කුමරු ලෙස වජිරලෝන්කෝන් නම් කෙරුණි. වජිරලෝන්කෝන්ගේ පළමු වරට විවාහ වූයේ 1977 දීය. එම විවාහය 1993 දී අවසන් විය.  වජිරලෝන්කෝන්ගේ දෙවැනි විවාහය 1994 සිට 1996 තෙක් පැවැතිණි. වජිරලෝන්කෝන් තෙවැනිවරට විවාහ වූයේ 2001 දීය. එම විවාහය 2014 තෙක් පැවැතිණි.

බැංකොක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS