ත්‍රස්තයෝ කාබුල් අගනුවරට කඩා වදිති



තලේබාන් ත්‍රස්තවාදීන්, ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර වටකරමින් ඊට පහර දෙමින් නගරයට කඩා වැදුණි. කාබුල් නුවර ආරක්ෂාවට යොදවා සිටින ඇෆ්ගන් ආරක්ෂක අංශ නිලධාරීන් සහ තලේබාන් ත්‍රස්තවාදීන් අතර දරුණු අවි ගැටුම් හටගත් නමුත්, ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර හමුවේ ඔවුන්ට පසුබෑමට සිදුවිණි.

තලේබාන් ත්‍රස්තවාදීන් කාබුල් අගනුවර වට කරමින් ඊට කඩා වැදුණු බව තලේබාන් සංවිධානය මෙන්ම කාබුල් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය ද නිකුත් කළ නිවේදනවල දැක්විණි.

පසුගිය දින කීපය පුරාවට තලේබාන්වරු ඇෆ්ගන් නගර සහ පළාත් එකිනෙක අත්පත් කර ගැනීමට සමත් වූහ. ඔවුන් කාබුල් අගනුවර වට කර ඊට කඩා වැදුණේ නැගෙනහිර දෙසින් පිහිටි ජලල්ලාබාද් නගරය සහ මසාර් ඊ ෂාරිෆ් යන නගර අත්පත් කර ගැනීමෙන් පසුවය.ඇෆ්ගනිස්තානයේ සිවුවැනියට විශාලතම නගරය ලෙස සැලකෙන මසාර් ඊ ෂාරිෆ් ය.

කාබුල් සිවිල් වැසියන්ට හෝ රජයේ නිලධාරීන් කිසිවකුටවත් තමන් අනතුරක් නොකරන බව තලේබාන් සංවිධානය, දෝහා කටාර් හි ඔවුන්ගේ සාම කාර්යාලය හරහා දැනුම් දී තිබේ. නගරයෙන් පලා යන ඕනෑ අයකුට කිසිදු අනතුරක් සිදු නොකරන්නැයි තලේබාන් නායකයන් ඔවුන්ගේ සටන්කාමීන්ට අණ කර ඇතැයි ද දෝහා කටාර් හි තලේබාන් සාම කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

තලේබාන්වරුන්ගේ දැඩි විරෝධයට ලක් වී සිටින බටහිර හිතවාදී ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඊයේ (14) ජාතිය අමතමින් කායි සිටියේ, තලේබාන්වරුන්ට එරෙහිව ප්‍රහාර ආරම්භ කරන බවත්, තමන් ඇමෙරිකාව ඇතුළු පටහිර රටවල් සමඟ නිරන්තරයෙන් තලේබාන් තර්ජන ගැන සාකච්ඡා පවත්වන බවත්ය.

ඇමෙරිකා ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කළේ පසුගිය ජූලි මාසයේය. මෙම අගෝස්තු 31 වනවිට විදෙස් සොල්දාදුවන් සියලු දෙනා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගන්නා බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

හමුදා ඉවත් කර ගැනීමට බයිඩන් යොමු වූයේ ඇමෙරිකාව, තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් රජය අතරේ සාම වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් ද පසුවය. කෙසේ නමුත් එම සාම වැඩපිළිවෙළ අසාර්ථක වූ බවක් මේ වනවිට පෙනී යයි. දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, බටහිර අනුග්‍රහයෙන් පිහිට වූ සහ බටහිර සහාය ලබන අෂ්රාෆ් ඝානී ප්‍රමුඛ රජය සමඟ සාමකාමීව කටයුතු කිරීමට තලේබාන් සංවිධානය සූදානම් නොමැති බවය.

මේ අතර බටහිර රටවල් පවසා ඇත්තේ ඇෆ්ගනිස්තානය යළි තලේබාන් ග්‍රහණයට නතුවුවහොත් තමන් කිසිදු ආධාරයක් එරටට ලබා නොදෙන බවය.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා හිටිහැටියේ ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කළේ තමන් අමාරුවේ දමමින් යැයි තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ අසරණ වුණු ඇෆ්ගන් සිවිල් වැසියෝ චෝදනා නගති.

තලේබාන් ත්‍රස්තවාදීන් නගර අත්පත් කර ගනිමින්, ඇමෙරිකන් හිතවාදී සිවිල් වැසියන්, ආගමික නායකයන් සහ ඇෆ්ගන් රජයේ නිලධාරීන් ඝාතනය ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.

තලේබාන් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් බේරී තම තමන්ගේ ගම් පළාත්වලින් පලා ආ තරුණියන් සහ කාන්තාවන් බොහෝ දෙනකු මේ වනවිට කාබුල් අගනුවර සිටින බව ද වාර්තා වේ. තමන් තලේබාන් ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කර දෙන මෙන් ඔවුන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් ඉල්ලා ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.

තලේබාන් ත්‍රස්තවාදීන් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් වන අතර, බාලිකා අධ්‍යාපනයට ඔවුහු විරෝධය දක්වති. මේ වනවිට විවාහ නොවූ යොවුන් තරුණියන් සහ වැන්දඹු කාන්තාවන් බලහත්කාරයෙන් විවාහ කර ගැනීමට තලේබාන් ත්‍රස්තයන් පියවර ගෙන තිබේ.

තලේබාන්වරුන් බිහිසුණු ලෙස මානව හිමිකම් උල්ලංඝනය කරනවා යැයි එක්සත් ජාතින්ගේ සංවිධානය චෝදනා කර තිබේ.

මේ අතර, කටාර් රාජ්‍යය තලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කර ඇත්තේ වහා ගැටුම් නවත්වා ඇතිකරගත් සාම වැඩපිළිවෙළට අනුව කටයුතු කරන ලෙසය.

තලේබාන්වරුන් කාබුල් අගනුවරට ඇතුළු වෙද්දී, ඇමෙරිකන් තානාපති කාර්යාලයේ නිලධාරීන් ඉවත් කර ගැනීම ඇමෙරිකන් හමුදා සොල්දාදුවන්ගේ මැදිහත්වීමෙන් සිදුවිය. හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ඇමෙරිකන් තානාපති නිලධාරීන් කාබුල් නුවරින් ඉවත් කර ගැනීමට ඇමෙරිකාව කටයුතු කළේය. මේ වනවිට ඇමෙරිකා හමුදාවට සහාය දැක්වුණු ඇෆ්ගන් පරිවර්තකයන් බොහෝ දෙනකුට ඇමෙරිකාවට, කැනඩාවට සහ මහා බ්‍රිතාන්‍යයට යෑමට අවස්ථාව උදා වී තිබේ. ඒ ඔවුන්ට සරණාගත වීසා හිමිවීමෙන් පසුවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS