ත්‍රස්ත ප්‍රහාරයක්



පාකිස්තානයේ කරච්චි නුවර චීන කොන්සල් කාර්යාලයට කඩා වැදීමට උත්සාහ කළ ත්‍රස්තවාදීන් පිරිසක් කළ වෙඩි තැබීමකින්, කොන්සල් කාර්යාලයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීහු දෙදෙනක් ජීවිතක්ෂයට පත් වූහ.

ආයුධ සන්නද්ධ සිවු දෙනකු කොන්සල් කාර්යාලයට කඩා වැදීමට පැමිණ ඇත. කොන්සල් කාර්යාලයට පිවිසීමට පෙර ඇති මුර කපොල්ලේදී, පිරිස සෝදිසි කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළ අතර, එහිදී දෙපිරිස අතර වෙඩි හුවමාරුව සිදුවිය.

පොලිස් නිලධාරීන් පෙරළා ත්‍රස්තවාදීන්ට වෙඩි තැබූ බවත්, එම ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදීන් සිවුදෙනා එතැනින් පලා ගිය බවත් පාකිස්තාන පුවත් සේවා වාර්තා කර තිබේ.

වෙඩි හුවමාරුව අතරතුරේ පිපිරීමක් ද සිදුවිය. එය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් යැයි සැක කෙරේ. බෝම්බයට හසුවීමෙන් කොන්සල් කාර්යාලය ඉදිරිපිට නවතා තැබුණු වාහන කිහිපයක් විනාශ විය. වෙඩි ප්‍රහාරයෙන් චීන කොන්සල් කාර්යාලයේ නිලධාරීන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි.

ප්‍රහාරය සඳහා පැමිණ පලා ගිය ත්‍රස්තවාදීන් සොයා කරච්චි නගරය පුරා සෝදිසි මෙහෙයුම් සිදුවිය. කරච්චි යනු පාකිස්තානයේ වෙළෙඳ අගනුවර සේම ප්‍රධාන වරාය නගරය ද වෙයි. ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි යන් මෙතෙක් අනාවරණය වී නැත. පරීක්ෂණ කටයුතු දිගටම පැවැත්වෙයි. ප්‍රහාරයෙන් පසු කොන්සල් කාර්යාලයට පමණක් නොව කොන්සල් කාර්යාලයේ නිලධාරීන්ට ද විශේෂ ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කෙරරුණි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS