තවමත් පැහැදිලි විසඳුමක් නෑ



අයවැය සම්මත කර ගැනීමට නොහැකිව, ඇමෙරිකා රජය දින 23 ක් පුරාවට අකර්මණ්‍ය වී ඇති බවත්, ඇමෙරිකා ඉතිහාසයේ මීට පෙර, මෙතරම් දීර්ඝ කාලයක් මෙවැනි අර්බුදයක් හටගෙන නොතිබුණු බවත් එරට පුවත් සේවා පෙන්වා දෙයි.

මීට පෙර මේ අයුරින් ඇමෙරිකා රජය දින 21 පුරාවට අඩපණ වී ඇත්තේ 1995 වසරේ සිට 1996 තෙක් කාලයේය. එවකට ජනාධිපතිවරයා වූයේ බිල් ක්ලින්ටන්ය.

අයවැය සම්මත කර ගැනීමට නොහැකි වී ඇත්තේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ඉදිරි කිරීමට යෝජනා කර ඇති දේශසීමා ප්‍රාකාරය මුල්කොට ගනිමිනි.

එම ප්‍රාකාරයට ඇමෙරිකන් ඩොලර් බිලියන 5.7 ක් වැය වන බව ජනාධිපති ට්‍රම්ප් කියයි. මෙය අයවැය ලේඛනයට ද ඇතුළත් කර තිබේ. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් පමණක් නොව ට්‍රම්ප්ගේ ඇතැම් රිපබ්ලිකන්වරුන්ගෙන් පවා මෙම ප්‍රකාරයට විරෝධය එල්ල වී ඇත. ඇමෙරිකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයටය. එහෙයින් ප්‍රාකාරයට මුදල් අනුමත කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව අයවැය ලේඛනය සම්මත කර ගැනීමට නොහැකි වී ඇති අතර පසුගිය දෙසැම්බරයේ සිට මේ දක්වා ඇමෙරිකා රාජ්‍ය ආයතවලින් සියයට 25 ක වැඩ කටයුතු මුළුමනින්ම නැවැතී ඇත. ලක්ෂ අටකට වැඩි රාජ්‍ය සේවකයන් පිරිසකට වැටුප් ලැබී නැත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS