තලේබාන් නායකයෝ ඇමෙරිකන් නියෝජිතයන් හමුවෙති



ඇෆ්ගන් තල්බාන් රජයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් රජයේ නියෝජිතයන් අතර හමුවක් දෝහා කටාර් හි පැවැත්වෙයි.

ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී ගියේ, මීට වසර දෙකකට පෙර 2021 අගෝස්තු මාසයේය. ඇමෙරිකන් හමුදා පිටවී යෑමත් සමඟ තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගත්හ.

තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික ෂරියා නීතිය ක්‍රියාත්මක කරමින් නව රජයක් පිහිටුවීම කළේ ඉන්පසුවය.

ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටව යෑමෙන් පසු තලේබාන් රජයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් රජයේ නියෝජිතයන් අතර හමුවක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. දින දෙකක් පුරා දෝහා නුවරදී දෙපාර්ශ්වය අතර සාකඡ්ඡා පැවැත්වෙනු ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇමෙරිකාව ඇෆ්ගනිස්තානයට පනවා ඇති සම්බාධක සහ තහංචි තවමත් ඉවත් කරගෙන නැති අතර, ඒවා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

තලේබාන්වරුන් යළි ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගනිමින් ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ ඇමෙරිකාව හෝ වෙනත් කිසිදු රටක්, මේවනතුරු තලේබාන් රජය පිළිගැනීමට කටයුතු කර නැත. කාන්තාවන්ගේ සහ බාලිකාවන්ගේ අයිතීන් උල්ලංඝනය වීමක් සිදුවන බවට තලේබාන් පාලකයන්ට නිරන්තරයෙන් චෝදනා එල්ල වෙයි.

මේ අතර, ඇෆ්ගනිත්තානයේ හේරත් පළාතේ තලේබාන් අන්තවාදීන් සංගීත භාණ්ඩ ගිනි තබා විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. සංගිත භාණ්ඩ ගිනි තබා විනාශ කළේ තලේබාන් ෂරියා නීතියට අනුවය.

ගිටාරයක්, තබ්ලාවක් ආදී සංගීත භාණ්ඩ රැසක්, විනාශ කරන සංගීත භාණ්ඩ අතරේ ඇත. ඒවා ඩොලර් දහස් ගණනක් වටිනා සංගීත භාණ්ඩ යැයි ද පැවැසෙයි.

තලේබාන් සාමාජිකයන්, දැවැන්ත ගිනි මැලයක් දල්වා, විනාශ කළ සංගීත භාණ්ඩ එයට විසි කරන අයුරු ද වීඩියෝ දසුන්වලින් දකින්න ලැබේ.


RECOMMEND POSTS