තලේබාන් ත්‍රස්තයන්ට ගුවන් ප්‍රහාර එල්ලකරනවා



ඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවීමත් සමඟ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරමින්, එරට නගර සහ පළාත් අත්පත් කර ගන්නා තලේබාන් ත්‍රස්තවාදීන්ට ගුවන් ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකන් හමුදාව කියයි.

ඇමෙරිකන් හමුදා ජනරාල් කීනත් මැකෙන්සි මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඇෆ්ගන් සිවිල් වැසියන් පීඩාවට පත් කිරීමට, තලේබාන් ත්‍රස්තවාදීන්ට කිසිසේත් ඉඩක් ලබා නොදෙන බවය.

ඇෆ්ගන් රජය සමඟත්, ඇමෙරිකාව සමඟත් සාම වැඩපිළිවෙළකට කැමැත්ත පළ කර ඇති තලේබාන් සංවිධානය මීට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ, ඇමෙරිකාව තලේබාන්වරුන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළොත්, ඊට ප්‍රතිචාර දක්වමින් ඇෆ්ගන් සිවිල් වැසියන් දිගින් දිගටම පීඩාවට පත් තිරීමට පසුබව නොවන බවය.

මේ අතර, තලේබාන් සංවිධානයේ සන්නද්ධ අංශය ත්‍රස්ත කණ්ඩායම් සමඟ සමීප සම්බන්ධතා තිබෙන බවත් ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂිත නිවහනක් කිරීමට තලේබාන් සංවිධානයට අවශ්‍ය වී ඇති බවත් ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී පවසා තිබේ.

අයි.එස්.අයි.එස්, අල්කයිඩා, ලක්ෂාර් ඊ තයිබා සහ ජයිෂ් ඊ මොහොමද් යන සංවිධාන සමඟ සමීප සම්බන්ධතා තිබෙන බව ඇෆ්ගනිස්තාන ජනාධිපතිවරයා පැහැදිලි කර තිබේ. ඇෆ්ගනිස්තානය සන්නද්ධ කණ්ඩායම්වල ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීමට ඇෆ්ගන් රජය කිසිසේත් ඉඩක් ලබා නොදෙන බව ද ජනාධිපති අෂ්රාෆ් ඝානී අවධාරණය කර තිබේ. ජනාධිපතිවරයා මෙසේ කියා සිටියේ කාබුල් නුවර විශේෂ මෙහෙයුම් අණදෙන මධ්‍යස්ථානයේ දීය.

මේ අතර, තලේබාන් සංවිධානයේ ගමන අඩාල කිරීම ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශවල පළමු කාර්ය යැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මාධ්‍ය පවසා ඇත.

ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදා පිටවී යෑමත් සමඟ තලේබාන් සංවිධානය මේ වනවිට ඇෆ්ගනිස්තානයේ විශාල කොටසක බලය අල්ලාගෙන ඇතැයි විදෙස් වාර්තා පවසන අතර, ඇමෙරිකා ආරක්ෂක ලේකම්වරයා මෙසේ අදහස් දැක්වීමක් කළේ ඊට ප්‍රතිචාර දක්වමිනි.

තලේබාන් සංවිධානය අල්ලාගත් ප්‍රදේශ නැවත අත්පත් කරගැනීමට පෙර ඔවුන්ගේ ගමන අඩාල කිරීමට ප්‍රමුඛත්වය දිය යුතු යැයි ද එය ඇෆ්ගන් ආරක්ෂක අංශවල මුල්ම කාර්යය යැයි ද ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි කළේය.
ඇෆ්ගනිස්තානයේ උපායමාර්ගික වශයෙන් වැදගත් ස්ථාන රැසක් ද තලේබාන් සංවිධානයේ පාලනයට නතු වී තිබෙන මේ හේතුවෙන් එම ස්ථානවල පාලනය නැවත තමන් සතු කරගැනීමට ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ තලේබාන් සංවිධානයට එරෙහිව ඔවුන්ගේ යුද සැලැස්ම වෙනස් කිරීමට සූදානම් වන බව රොයිටර් වාර්තාවක දැක්වෙයි.

කාබුල් ඇතුළු ඉතා වැදගත් ප්‍රදේශවල ආරක්ෂාව වැඩි කිරීමටත්, තලේබාන් සංවිධානයේ පාලනයට නතුව තිබෙන උපායාමාර්ගික වශයෙන් වැදගත් ස්ථාන නැවත අත්පත් කරගැනීමටත්, දේශසීමා හුවමාරුවල ආරක්ෂාව තර කිරීමටත් ඉතා වැදගත් යටිතල පහසුකම්වල ආරක්ෂාව වැඩි කිරීමටත් ඇෆ්ගනිස්තාන ආරක්ෂක අංශ සූදානම් වන බව එම වාර්තාවේ සඳහන් විය.

“ඇෆ්ගන් ආරක්ෂක අංශ ප්‍රධාන නගරවල සහ ජනාකීර්ණ ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කරමින් සිටිනවා” යැයි ඇලස්කාවේ සංචාරයක නිරත වෙමින් ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා පැහැදිලි කළේය.

“නවත්වනවාද නැද්ද කියන දේටත් මම හිතන්නේ මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නේ තලේබාන් සංවිධානයේ ගමන අඩාල කිරීම, ඔවුන් ගමන් කරන වේගය අඩු කිරීම” යැයි හෙතෙම පෙන්වා දුන්නේය.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ උපදෙස් මත ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයේ සිය යුද මෙහෙයුම් ලබන අගෝස්තු 31 වැනිදාට අවසන් කිරීම නිසැක වශයෙන් ම සිදුවනු ඇතැයි ද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS