තලේබාන්-ඇමෙරිකා සාමකතා පාකිස්තානයේ

ඇෆ්ගන් අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින්, පාකිස්තානයේදී ඇමෙරිකන් නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට තමන් බලාපොරොත්තු වන බව ඇෆ්ගන් තලේබාන් සංවිධානය පවසා ඇත.
ඇෆ්ගන් තලේබාන් සංවිධානය ගත් මෙම තීරණය ජගත් දේශපාලන විශ්ලේෂකයන්ගේ ද පුදුමයට හේතුවක් විය. තලේබාන් සංවිධානය පෙන්වා දෙන අන්දමට, පාකිස්තානයේ එම සාම කතා පැවැත්වීම සිදුවනු ඇත්තේ ලබන සතියේය. ඒ සඳහා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්රමුඛ රජයේ අනුග්‍රහය ද හිමිවනු ඇතැයි තලේබාන් සංවිධානය කියයි.
ඇෆ්ගනිස්තානයේ අසල්වැසියා පාකිස්තානයයි. ඇෆ්ගනිස්තානයේ තලේබාන් අර්බුදයට විසඳුමක් දී සාමය ස්ථාපිත කිරීමට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දෙන බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ රජය අවධාරණ කර ඇත.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ, පාකිස්තානයේ එසේ සාමකතා පැවැත්වීමට පැමිණෙන්නැයි තලේබාන් සංවිධානයෙන් තමන්ට ඇරැයුම් ලැබී නොමැති බවය.
මේ වනවිට ඇෆ්ගන් තලේබාන් සංවිධානය සහ ඇමෙරිකාව අතර විශේෂ සාකච්ඡා කටාර් රාජ්‍යයේ දෝහා හි පිහිටුවා ඇති තලේබාන් සාම කාර්යාලය හරහා පැවැත්වෙයි. ඇමෙරිකාව වෙනුවෙන් තලේබාන්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීම සිදු කරනු ලබන්නේ සැල්මේ කලීසාද් ය.
තලේබාන් අර්බුදය විසඳීමේ ප්‍රධාන අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් පත් කරනු ලැබූ සැල්මේ කලීසාද් පත් කරනු ලැබ ඇත.
සාම සාකච්ඡා පවත්වා සටන් විරාමයකට යෑමට තමන් සූදානම් බව තලේබාන් සංවිධානය ඇමෙරිකාවට පවසා ඇත. ඒ, එක් කොන්දේසියක් ද සහිතවය. තමන් සටන් විරාමයකට කැමැති වන්නේ, ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටව ගියහොත් පමණක් යැයි තලේබාන් සංවිධානය තරයේ පවසා ඇත.
ඒ අනුව, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකා සොල්දාදුවන් ඉවත් කිරීමට උපදෙස් ලබා දී තිබේ. එම කටයුතු ඉදිරි මාස කිහිපය ඇතුළත සිදුවනු ඇති බව ද පැවැසෙයි.
මීට අමතරව තලේබාන් සංවිධානය සහ ඇෆ්ගන් විපක්ෂ දේශපාලන කණ්ඩායම් අතරේ ද වෙනම සාකච්ඡා පැවැත්වෙයි. එම සාකච්ඡා රුසියාවෙන් අනුග්‍රහය ලැබේ. සාකච්ඡා වටයක් පසුගිය දා රුසියාවේ මොස්කව් අගනුවරදී පැවැත්විණි.
තලේබාන් සංවිධානයේ විශේෂ නියෝජිතයකු ලෙස ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපතිවරයකු වූ හමීඞ් කර්සායි ද මොස්කව් නුවර පැවැති සාකච්ඡා සඳහා එක් විය. ඇෆ්ගනිස්තානයේ වත්මන් ජනාධිපතිවරයා වන්නේ අෂ්රාෆ් ඝානීය. අෆ්රාෆ් ඝානීගේ රජය තලේබාන් සංවිධානය පිළිගන්නේ නැත. ඒ, බටහිර අනුග්‍රහයෙන් පිහිටවූ රජයක් බව චෝදනා කරමිණි. සාකච්ඡා සඳහා අෂ්රාෆ් ඝානීගේ රජයේ නියෝජිතයන් කිසිවකුවත් සහභාගී නොවන බව ද පැවැසෙයි.
ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී.)

