තමිල්නාඩුවේ තහංචි දිගටම



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන බැවින්, සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව, තමිල්නාඩු ප්‍රාන්තයට පනවා ඇති තහංචි තවදුරටත් ක්‍රියාත්මක කරන ප්‍රාන්ත බලධාරීහු පැවැසූහ.

කොරෝනා නිසා තහංචි පනවා තිබුණත් තමිල්නාඩුව සහ සෙසු ප්‍රාන්ත අතර බස් රථ සේවා සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව ද පැවැසෙයි. සමාජ දුරස්ථභාවය හැකිතාක් රැක ගැනීමට කටයුතු කරන්නැයි තමිල්නාඩු ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබේ.

කොරෝනා හේතුවෙන් දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය මුළුමනින්ම අඩපණ වී ඇත. සෞඛ්‍ය බලධාරීන් ඊයේ උපදෙස් දුන්නේ, චිත්‍රපට රූගත කිරීම්වලට අවසර දෙන බවත්, කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ගණන 70 කට පමණක් සීමා කර ගැනීමට නිෂ්පාදකවරුන් සහ අධ්‍යක්ෂවරුන් පියවර ගත යුතු බවත්ය.

ඊයේ (30) දිනයේ පමණක් තමිල්නාඩුවෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 6,352 කි. තමිල්නාඩුවෙන් වාර්තා වන  සමස්ත ආසාදියන් ගණන ලක්ෂ 4 කි. මරණ වාර්තා වන්නේ 1,700 ක් ලෙසය. ඊයේ (30) වනතුරු දකුණු ඉන්දියාවේ දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වූයේ තමිල්නාඩුවෙනි.

කෙසේ නමුත්, ඊයේ වනවිට ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය, තමිල්නාඩුව අභිබවා ගියේය. ඉන්දියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ මහාරාෂ්ට්‍රයෙනි. ලොව කොරෝනා ආසාදිතයන් අතින් ඉන්දියාව ඇත්තේ තෙවැනි ස්ථානයේය.

ඉන්දියාවේ දිනපතා කොරෝනා ආසාදිතයන් ඉහළ යයි. මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 3,624,613 කි. මරණ වාර්තා වන්නේ 64,646 ක් ලෙසය.

චෙන්නායි (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS