තමිල්නාඩු ලාංකික දෙමළ වැසියන් ආපසු යා යුතුයි



සරණාගතයන් ලෙස තමිල්නාඩුවට පැමිණ පදිංචි වී සිටින ශ්‍රී ලාංකික දෙමළ වැසියන් සම්බන්ධයෙන් පවතින අර්බුදයට ඇති හොඳම විසඳුම, එම වැසියන් ආපසු ශ්‍රී ලංකාවට යෑම යැයි තමිල්නාඩුවේ භාරතීය ජනතා පක්ෂයේ නායක එල්. ගනේෂන් පවසා ඇත.

එල්. ගනේෂන් මෙසේ පවසා ඇත්තේ ආන්දෝලනයට හේතුවක් වී ඇති ඉන්දීය පුරවැසි පනත සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.

ආන්දෝලනයට ලක්වුණු එම පුරවැසි පනතට අනුව, ඉන්දියාවේ පුරවැසි භාවය හිමිවන්නේ ආගමික වාර්ගීක සහ දේශපාලනික ගැටුම් හේතුවෙන් ඇෆ්ගනිස්තානයෙන්, බංග්ලාදේශයෙන් සහ පාකිස්තානයෙන් යන රටවල් තුනෙන් පමණක් ඉන්දියාවට පලාවිත් ඉන්දියාවේ පදිංචි වී සිටින මුස්ලිම් නොවන වැසියන්ට පමණි.

ශ්‍රී ලංකාවේ පැවැති ගැටුම් හේතුවෙන් තමිල්නාඩුවට පැමිණ පදිංචි වී සිටින ශ්‍රී ලාංකික දෙමළ වැසියන්ට පුරවැසිභාවය ලබා දීමක් ගැන පුරවැසි පනතෙහි කිසිදු සඳහනක් නොමැති බවත්, එම දෙමළ වැසියන්ට ඉන්දියාවේ පුරවැසිභාවය අවශ්‍ය නොවන බවත් එල්. ගනේෂන් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.

චෙන්නායිහිදීය (ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)


RECOMMEND POSTS