ඩොනල්ඞ් ට්‍රම්ප්ට තවත් චෝදනාවක්



ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනාවක් එල්ල විය. ඒ, 2020 වසරේ පැවැත් වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ කළ බවටය.

ට්‍රම්ප් ජනාපධිති ධුරය හෙබවූයේ එක් ධුර කාලයක්පමණි. ඔහු වත්මන් ඩිමොක්‍රටික් ජනාධිපති ජෝ බයිඩන්ට පරාජය වූයේ 2020 පැවැති ජනාධිපතිවරණයෙනි.

එම අවස්ථාවේදී තමන් පරාජය වූ බව ට්‍රම්ප් පිළිගත්තේ නැත. ට්‍රම්ප් ඔහුගේ රිපබ්ලිකන් පක්ෂ ආධාරකරුවන් ‘උසි ගන්වමින්’ වොෂින්ටන් අගනුවරට කඩා වැදීමට සැලැස්වූයේ ද එම අවස්ථාවේදීය. එම ‘උසිගැන්වීමේ’ සිද්ධිය සම්බන්ධයෙන් ද ට්‍රම්ප්ට චෝදනා එල්ල වී ඇත.

ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුව වෙනුවෙන් හිටපු ජනාධිපති ට්‍රම්ප් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන්නේ විශේෂ නීතීඥවරයකු වන ජැක් ස්මිත්ය. ඔහු පිටු 45 කින් යුත් අධි චෝදනා පත්‍රයක් ගොනු කර ඇතැයි ද වාර්තා වේ.

ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන 2024 වසරේ දී පැවැත්වීමට නියමිතය. රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් ට්‍රම්ප් ඊට ඉදිරිපත් වීමට සූදානමින් සිටී. එල්ල වන සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ට්‍රම්ප් පවසා ඇත්තේ, යළි ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට තමන් ගන්නා උත්සාහය වැළැක්වීමට ප්‍රතිවාදීන් උත්සාහ කරන බවය.


RECOMMEND POSTS