ඩුබායිහිදී තරුණියක් වාහනයක ගැටී මිය යයි.

පදික මාරුව මීටර් හතළිහක දුරින් තිබියදී ඩුබායි නගරයේ ජනාකීර්ණ පාරක් හරහා අපරික්ෂාකාරී ලෙස පාර මාරුවීමට ගිය අරාබි ජාතික තරුණියක් මාර්ගයේ අධික වේගයෙන් ආ වාහනයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.
නිවාඩු දිනයක් වන ඉකුත් සිකුරාදා දිනයේදී උදේ වරුවේදී ඩුබායි අල් මුල්ලා සාප්පු සංකීර්ණය අසල පිහිටි මාර්ගයේදී මෙම තරුණිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි සදහන් වේ. මියගිය තරුණියගේ වයස අවුරුදු 20කි.
මෙම තරුණිය මිය යෑම සම්බන්ධයෙන් ඩුබායි රථවාහන පොලීසියේ අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් සෙයිෆ් මුහෙයිර් අල් මස්රූයි අදහස් දක්වමින් කියා සිටියේ සාජා සිට ඩුබායි දෙසට අධික වේගයෙන් පැමිණි රථයක ගැටීමෙන් තරුණියක් මියගිය බවට සිය මෙහෙයුම් මැදිරියට දුරකථන ඇමතුමක් ලැබුණු බවය. පදික මාරුව මීටර් 40 ක් ඈතින් තිබියදී ඇය රථවාහන ගමන් කිරීම සදහා වන කොළ පැහැති රථවාහන සංඥා දැල්වී තිබියදී අධික වේගයෙන් එම වාහන ගමන් ගත් අවස්ථාවක මෙලෙස පාර හරහා මාරුවීමට යෑමෙන් අවාසනාවන්ත ලෙසින් මියගොස් ඇතැයි හෙතෙම කීය.
එලෙස වේගයෙන් ආ වාහනයේ රියදුරු තරුණිය බේරා ගැනීම සදහා දැඩි උත්සාහයක් දරා වාහනයේ වේගය පාලනය කර වාහනය නැවැත්වීමට උත්සාහ කළද ,තරුණිය එහි ගැටුණු බවද ඩුබායි රථවාහන පොලීසි අධ්‍යක්ෂකවරයා කීය. මේ හේතුවෙන් වාහනය පදව ගෙන ආ ආසියානු ජාතිකයාටද සුළු තුවාල සිදුවී ඇත. සිද්ධියට අදාළ ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා මෙම රිය අනතුර එහි රථවාහන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබ ඇත.
මේ වසර මුල සිට මේ දක්වා කාලය තුළ ඩුබායි නගරයේ මෙලෙස අපරික්ෂාකාරී ලෙස පාර මාරුවීමට ගිය පුද්ගලයින් 46 ජීවිතක්ෂයට පත්ව ඇති අතර පදික මාරුවක් නොවන ස්ථානයකින් පාර මාරුවන පුද්ගලයින්ට ඩිරාම් 200ක මුදල් දඩයක්ද ඩුබායි රථවාහන පොලීසිය විසින් පනවා ඇත. එසේම දැනට වසරක සිට ඩුබායි රථවාහන පොලීසිය පරික්ෂාකාරී ලෙස පදික මාරුවීම් සිදු කරන ආකාරය පිළිබද පදිකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන්ද දියත් කරමින් සිටී.
තිළිණි ද සිල්වා
(ගල්ෆ් නිව්ස් ඇසුරෙනි)

