ඩුබායි නිවසකින් සොරකම් කළ ශ්‍රී ලාංකිකයන් පහක් අත් අඩංගුවට



(විනීතා එම් ගමගේ)

 

ඩුබායි හි නිවසකින් ඩිරාම් 2,80,000ක් (රුපියල් එක් කෝටි හය ලක්ෂයකට ආසන්න මුදලක්), පමණ වටිනා  ආභරණ, විද්‍යුත් උපකරණ, සුවඳ විලවුන් හා ඩිරාම් 50,000 ක් (රුපියල් දහ නම ලක්ෂයක් පමණ) සොරකම් කළ ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙක් හා එරට වැසියෙක් ඩුබායි හි පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

ඩුබායි, අල් ක්විස් ප්‍රදේශයේ පිහිටි නිවසකින් මෙම සොරකම සිදුකර ඇති අතර ඊජිප්තු ජාතික ගෙහිමියා පොලිසියට පවසා ඇත්තේ තමන් රටින් බැහැරව සිටිය දී නිවස බිඳ මෙම භාණ්ඩ සොරා ගෙන ඇති බව යැයි ඩුබායිහි ද නේෂන් වෙබ් අඩවිය පවසයි.

ඩිරාම් දෙලක්ෂ පණස් දහසක් වටිනා රොලැක්ස් වර්ගයේ අත් ඔරලෝසු පහක්, ඩිරාම් 90,000 ක් වටිනා ආභරණ, ඩිරාම් 16,000 ක් වටිනා දුරකථන හා උපකරණ ඩිරාම් පණස් දහසක් වටිනා කාන්තා අත් බෑගයක් සහ ඩිරාම් 24,000 ක් වටිනා විලවුන් බෝතල් දෙකක් සහ මුදල් ඩිරාම් 50,000 ක්ද මෙසේ සොරකම් කර ඇතැයි හෙතෙම පැමිණිලි කොට තිබීණි.

මේ සම්බන්ධව අත් අඩංගුවට ගෙන ඉකුත් 27 දා අධීකරණයට ඉදිරිපත් කෙරුණු හය දෙනා ගෙන් ශ්‍රී ලාංකිකයන් පස්දෙනා වයස අවුරුදු 26ත් 48 ත් අතර වයසේ පසුවන්නන් බව ද එම වෙබ් අඩවිය කියයි.

සොරකම් කරන ලද භාණ්ඩ වලින් කොටසක්, සැකකරුවන් නැවතී සිටි සාජාහි පිහිටි නවාතැනේ තිබී සොයා ගත් බව ද පොලිස් වාර්තා උපුටා දක්වමින් එම වෙබ් අඩවිය සඳහන් කරයි.

මොවුන් පිළීබඳ අපරාධ අධීකරණයේ තීන්දුව ලබන දෙසැම්බර් 6 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

 


RECOMMEND POSTS