ඩුබායි අධිකරණය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් නිදහස් කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පාලකවරයාගේ පවුලේ සාමාජිකයෙකුට අයත් මාලිගාවක සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් දෙදෙනෙකු එම චෝදනා වලින් නිදොස් කිරීමට ඩුබායි අධිකරණය තීරණය කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
මෙම ලාංකික සේවිකාවන් දෙදෙනා එම සොරකමට සම්බන්ධ වී නැතැයි ඊට සම්බන්ධ නඩු විභාගයේදී අධිකරණය හමුවේ හෙළිදරව් වීමත් සමග ඔවුන් දෙදෙනා එම චෝදනා වලින් නිදහස් කර ඇත.
ඉකුත් මාර්තු මාසයේදී ඩුබායි පාලකවරයෙකුට අයත් මාළිගාවක තිබූ වටිනා ස්වර්ණාභරණ තොගයක් හා ස්මාර්ට් ජංගම දුරකථන කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධියක් වාර්තා වූ අතර මේ සම්බ්න්ධයෙන් සැකපිට එම මාළිගාවේ සේවය කළ ලාංකික ගෘහසේවිකාවන් දෙදෙනෙකු ඩුබායි පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලදී.
පසුව ඔවුන් දෙදෙනාට එරෙහිය ඩුබායි අධිකරණය හමුවේ නඩු පැවරීමටද ඩුබායි පොලීසිය පියවර ගත්තේය.
නමුත් මෙම සොරකමට අදාළ පරීක්ෂණ පැවැත්වීමේදී මොවුන් දෙදෙනා ඊට සම්බන්ධ බවට ඩුබායි පාලකවරයාගේ පවුලේ සාමාජිකයින් චෝදනා නොකිරීමත් සමග ඔවුන්ට එරෙහිව පැවති සොරකම් කිරීමේ චෝදනාව ඉවත් කිරීමට තීන්දු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් අදාළ චෝදනාවන්ට ලක්ව සැකපිට අත්අඩංගුවට පත් ලාංකික සේවිකාවන් දෙදෙනාගේ අනන්‍යනතාවය හෙලිදරව් නොකිරීමට ඩුබායි පොලීසිය තීන්දු කර ඇත.
( තිළිණි ද සිල්වා )

