ට‍්‍රම්ප් දකුණු කොරියා ජනපති හමුවෙයි



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගීවීමට ඇමෙරිකාවේ නිව්යෝක් නුවරට පැමිණ සිටින දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් අතර විශේෂ හමුවක් පැවැත්විණි.

එම හමුව පැවැත්වූයේ මහා මණ්ඩල සැසියට සමගාමීවය. එම හමුවේදී නායකයන් දෙදෙනාගේ සාකච්ඡුාවට බඳුන් වූයේ උතුරු කොරියාවය. න්‍යෂ්ටික අවිහරණයකට කැමැත්ත පළ කර ඇති උතුරු කොරියාව එම කටයුතු සිදුකරමින් පවතින බවට දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්, ඇමෙරිකා ජනාධිපතිවරයාට සහතිකයක් ලබා දුන්නේය.

දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් පසුගිය සතියේ උතුරු කොරියාවේ යොංග්යැංග් නුවර තෙදින නිල සංචාරයකට ගියේය. එහිදී උතුරු කොරියා නායකයා සමඟ එක් වී න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදුවන අයුරු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡුා පැවැත්වීය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සාමය වෙනුවෙන් දක්වන උනන්දුව සම්බන්ධයෙන් තමා පැහැදීමකට පත්වී සිටින බවත්, දෙවැනි වරටත් තමන් උතුරු කොරියා නායකයා හමුවීමට සූදානම් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, දකුණු කොරියා ජනාධිපති හමුවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් තමන්ට ‘හරි ලස්සන’ ලිපියක් එවා ඇති බව ද ඇමෙරිකා ජනාධිපති ට‍්‍රම්ප් අවධාරණය කළේය. පසුගිය ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී එකිනෙකා හමුවී ඇතිකරගත් යහපත් සබඳතා සහ මිත‍්‍රත්වය දිගටම පවත්වා ගෙන යෑමට තමන් අපේක්ෂා කරනවා යැයි ද කිම් ජොන් උන් තමන්ට එවූ ලිපියේ සඳහන් වන බව ජනාධිපති ට‍්‍රම්ප් මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පවසා ඇත.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ තමන් අතර එම දෙවැනි හමුව පැවැත්වීම සම්බන්ධයෙන් කටයුතු සාකච්ඡුා කර ගැනීමට ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ යොදවන බව ද ඇමෙරිකා ජනාධිපති ට‍්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් කියා සිටියේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS