ට්‍රම්ප්ට දොස්



ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතීව කටයුතු කරනවා යැයි චෝදනා නගමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන මූල්‍ය ආධාර තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකා ජනධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පරිපාලනය තීරණය කිරීම ලොව බොහෝ දෙනකුගේ දැඩි අප්‍රසාදයට සහ විචේනයට හේතුවක් වී ඇත.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ලෝක වසංගතයක් වූයේත්, එම වයිරසයෙන් ඇමෙරිකාවට විශාල බලපෑමක් එල්ල වූයේත්, ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතී අයුරින් ලබා දුන් වැරැදි උපදෙස් නිසා යැයි ජනපති ට්‍රම්ප් චෝදනා කළේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. ලෝක සෞඛ්‍ය සංවිධානය සිය වගකීම් පැහැර හැරියේ යැයි ට්‍රම්ප් එම අවස්ථාවේදී වැඩිදුරටත් පැහැදිලි කළේය.

‘ඇමෙරිකන් ජනතාවගේ බදු මුදල්වලින් ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ත් 500 ත් අතර ප්‍රමාණයක් වාර්ෂිකව ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙනවා. චීනයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබෙන්නේ මිලියන 40 ක් හෝ ඊටත් අඩු මුදල් ප්‍රමාණයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට මුදල් ලබා දෙන ප්‍රමුඛයා ලෙස ඇමෙරිකාවට අයිතියක් තිබෙනවා යම් අසාධාරණයක් සිදුවී ඇති නම්, ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරන්න. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැරැදි තීන්දු සහ වැරැදි උපදෙස් නිසා ඇමෙරිකන් වැසියන්ගේ ජීවිත අහිමි වුණා. ඇමෙරිකාවට වයිරසය තර්ජනයක් වුණා. අප චීනයෙන් සහ අනෙක් රටවලින් පැමිණෙන පිරිස් වළක්වන්න උත්සාය ගත් අවස්ථාවේදී ඔවුන් අපට විරුද්ධ වුණා. එසේ කිරීම අවශ්‍ය නොවන බව පැවැසුවා. අප එසේ සංචාරක තහංචි පැනැවීම කළා නම්, ඇමෙරිකානුවන්ගේ ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට හැකිවාව ලැබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය දේශපාලනික වාසි අරමුණු කරගෙන ක්‍රියාත්මක වුණා. මනුෂ්‍ය ජීවිත ගැන ඔවුන් තැකීමක් කළේ නැහැ’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පෙන්වා දී තිබේ.
තම ආයතනය කිසිම අවස්ථාවක වගකීම පැහැර නොහැරිය බවත්, අගතිගාමීව කටයුතු නොකළ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තෙඩෝර්ස් ඇඞ්හැනොම් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට පිළිතුරු දෙමින් පවසා තිබේ. වයිරස වසංගතය දේශපාලනීකරණය නොකළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කර තිබේ.

ලෝකය දරුණු වසංගත තත්ත්වයකට මුහුණ දී ඇති අවස්ථාවක ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ආධාර නැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් තමන් විරෝධය පළ කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේට්ස් පවසා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක වන ආයතනයකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක වන්නේ රටවල් රැසකින් ලැබෙන මූල්‍ය පරිත්‍යාග මතය. ට්‍රම්ප්ගේ තීරණය සම්බන්ධයෙන් කිසිවක් නොපැවැසුවත්, මහා බි්‍රතාන්‍යය පවසා ඇත්තේ තමන් දිගටම මුදල් ආධාර ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන බවය. මේ අතර යුරෝපා සංගමය පවසා ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් තීරණය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනගාටුවන බවය. මෙම අවස්ථාවේදී ලොව සෑම කෙනකුම කළ යුතු වන්නේ එකමුතුවී වයිරසය පරාජය කිරීම යැයි යුරෝපා සංගමයේ විදේශ කටයුතු සම්බන්ධ ප්‍රධානී ජොසෙප් බොරොල් පවසා ඇත.

ඇමෙරිකන් වෛද්‍ය සභාව මෙන්ම ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය ද ජනපති ට්‍රම්ප් ගත් තීරණයට විරෝධය පළ කර ඇත. ඩිමොක්‍රටික් පක්ෂ කතා නායිකා නැන්සි පෙලෝසි පෙන්වා දී ඇත්තේ ජනපති ට්‍රම්ප් ගත් තීරණය වහා වෙනස් කළ යුතු බවය.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට මිලියන දෙකක් බවට පත් වී ඇත. චීනයෙන් ආරම්භ වුණු ‘කොවිඞ් 19’ වයිරසය මේ වනවිට බටහිර රටවල ව්‍යාප්ත වෙමින් පවතී. වයිරසයෙන් දරුණු බලපෑම් එල්ල වී ඇත්තේ ඇමෙරිකාවටය. ‘කොවිඞ් 19’ වයිරසය හේතුවෙන් ඇමෙරිකානුවෝ 27,000 ක් මියගොස් ඇති අතර, වයිරසය ආසාදනය වුණු 45,000 ක් සම්පූර්ණයෙන් සුවය ලබා ඇත. 6,19,000 කට වැඩි පිරිසක් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි ද පැවැසෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS