ට්‍රම්ප්ට උණුසුම් පිළිගැනීමක්



‘ඇපෙක්’ සමුළුවට සහභාගීවීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වියට්නාමයේ හැනොයි අගනුවර බලා පැමිණියේය.

හැනොයි නුවර ජනපති මන්දිරයට පැමිණි ට්‍රම්ප් උණුසුම් ලෙස පිළිගැනීමට වියට්නාම ජනාධිපති ට්‍රාන් දායි ක්වංග් කටයුතු කළේය.  ට්‍රම්ප් ජනපති මන්දිරයට පැමිණියේ හමුදා උත්තමාචාර මධ්‍යයේය.

ඇපෙක් සමුළුව පැවැත්වූයේ වියට්නාමයේ දා නැංග් නුවරය. ට්‍රම්ප් එම සමුළුවේ කටයුතු අවසන් කරමින්, දා නැංග් සිට හැනොයි අගනුවර පැමිණියේ සිය ගුවන් යානයෙනි. එය ඔහුට වෙහෙසකර ගමනක් වුණැයි ධවල මන්දිර මාධ්‍ය අංශය පවසා තිබුණි.

තමා වියට්නාමයට පැමිණියේ සාමය සහ මිත්‍රත්වය රැගෙන යැයි ට්‍රම්ප් වියට්නාම ජනපතිවරයාට පැවැසීය. පැයකට ආසන්න කාලයක් පුරාවට ඇමෙරිකා ජනපති සහ වියට්නාම් ජනාධිපති අතර සාකච්ඡා පැවැත්විණි.

සාකච්ඡාවලින් පසු වියට්නාම ජනපති මන්දිරයේ දී ට්‍රම්ප් මාධ්‍යවේදීන් ද ඇමැතුවේය. එහිදී වියට්නාම් ජනපති, අගමැති සහ වැසියන්ගෙන් තමන් ලැබුණු ආගන්තුක සත්කාර අගය කිරීමට ට්‍රම්ප් අමතක නොකළේය.

ට්‍රම්ප්ගේ වියට්නාම සංචාරය අද (12) දහවල් අවසන් වුණු අතර ඔහු ඉන්පසු ගියේ පිලිපීනයටය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS