ට්‍රම්ප්ගේ සාම නියෝජිතයෝ යුක්රේන ජනාධිපති හමුවෙති



රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටින අතර, ට්‍රම්ප්ගේ සාම නියෝජිතයන් ලෙස ඔහුගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් සහ ස්ටීව් විට්කොෆ් යුක්රේනයේ කීව් අගනුවරදී යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී සාකච්ඡා පැවැත්වූහ.

ජෙරාඩ් කුෂ්නර් සහ ස්ටීව් විට්කොෆ් යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවූයේ, රුසියාවේ මොස්කව් නුවරදී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

ජෙරාඩ් කුෂ්නර් සහ ස්ටීව් විට්කොෆ්, යුක්රේනයට පැමිණ කීව් අගනුවරදී, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි. 

ජනාධිපති සෙලෙන්ස්කී සමග සාකච්ඡා පැවැත්වීමෙන් පසු, ජෙරාඩ් කුෂ්නර් සහ ස්ටීව් විට්කොෆ් මාධ්‍ය හමුවේ පැවැසුවේ, රුසියන් ජනාධිපති පුටින් සේම, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ද සාම සැලැස්ම කෙරෙහි උනන්දුවක් දක්වන බවය.

මේ අතර, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, මාධ්‍ය හමුවක් පවත්වමින්, ට්‍රම්ප්ගේ සාම සැලැස්ම සම්බන්ධයෙන් පමණක් නොව, 2022 වසරේ සිට ඔඩුදුවන රුසියන් යුක්රේන යුද්ධය ගැන ද අදහස් දැක්වීමක් කළේය.

යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කළේ, රුසියාව සමග පවතින යුද්ධය ශීත සෘතුව දක්වාත්, ඉන් ඉදිරියටත් දිග්ගැස්සෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට නම්, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟතාවක් ඇති කර ගැනීම වැදගත් බව ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී අවධාරණය කළේය.


RECOMMEND POSTS