ට්‍රම්ප්ගේ දෙවැනියා ජේ.ඩී. වැන්ස්



ඇමෙරිකන් ජනාධිතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ දෙවැනියා මෙන්ම උප ජනාධිති ධුර අපේක්ෂකයා ලෙස ඔහියෝ ජනපද සෙනෙට් සභික ජේ.ඩී. වැන්ස් තෝරා ගත්තේය. 

රිපබ්ලිකන් පක්ෂ සම්මේලනය විස්කොන්සින් ජනපදයේ, මිල්වෝකී නුවරදී පැවැත්වුණු අතර, ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන රිපබ්ලිකන් අපේක්ෂයා ලෙස ට්‍රම්ප් නිල වශයෙන් පිළිගැනීම එහිදී සිදුවිය. වෙඩි උණ්ඩයකින් තුවාල වුණු ට්‍රම්ප්ගේ දකුණු කන ආවරණය කර තිබුණි. රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයන්ගෙන් ට්‍රම්ප්ට හිමිවූයේ වීරයකු පිළිගන්නා ආකාරයේ පිළිගැනීමකි.

සමුළුවේ දී,  ට්‍රම්ප් සිය දෙවැනියා ලෙස ජේ.ඩී. වැන්ස් තෝරා ගත්තේ ද ප්‍රීති ඝෝෂා මධ්‍යයේය. ඒ අනුව, නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන්, වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරදා ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වුවහොත්, උප ජනාධිපති ධුරයට පත්වන්නේ  ජේ.ඩී. වැන්ස්ය. ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදායට අනුව, ජනපති ධුර අපේක්ෂකයාට ඔහුට සුදුසු විශ්වාස අයකු උප ජනාධිපති අපේක්ෂකයා ලෙස පක්ෂයෙන් තෝරා ගැනීම කළ හැකිය. 

39 හැවිරිදි ජේ.ඩී. වැන්ස්, ඇමෙරිකානුවන් අතරේ කැපී පෙනෙන චරිතයක් වූයේ 2016 දීය. ඒ, වැන්ස්, ඔුහගේ මතක සටහන් එකන් කරමින්, ට්‍රම්ප් වර්ණනා කර ‘හිල්බිලි එලෙජ්’ නමැති කෘත්‍රිය එළිදැක්වීමෙනි.

වැන්ස් ඇමෙරිකන් සෙනෙට් සභිකයකු ලෙස තේරී පත් වූයේ 2022 වසරේදීය. ට්‍රම්ප්ගේ ‘ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨ තැනක් කරමු’ සංකල්පයට කැපී පෙනෙන ලෙස දායක වූ තැනැත්තකු වන්නේ ද වැන්ස්ය. එසේ වුවත්, මෙවර ජනාධිපතිවරණයේ උප ජනාධිපත අපේක්ෂකයා ලෙස ට්‍රම්ප්, වැන්ස් තෝරා ගනීවි යැයි බොහෝ දෙනකු අපේක්ෂා නොකළ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ට්‍රම්ප් සිය දෙවැනියා ලෙස වැන්ස් තෝරා ගැනීම සම්බන්ධයෙන්, ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනාධිපති ධුරය වෙනුවෙන් තරඟවදින වත්මන් ජනාධිපති ජෝ බයිඩන් පාර්ශ්වය කනස්සල්ල සහ අප්‍රසාදය පළ කර ඇත. ඒ, වැන්ස් දැඩි දක්ෂිණංශික අදහස් ඇති දැඩි අන්තවාදියකු බව පෙන්වා දෙමිනි. 

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS