ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය අහෝසියි



ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය අහෝසි කිරීමට, එරට කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන 2024 වසරේ, නොවැම්බර් පස් වැනිදා පැවැත්වීමට නියමිතය. වත්මන් ජනාධිපති ජෝ බයිඩන්, ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වීමට නියමිත අතර, ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා බවට පත් වී සිටින්නේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය.

කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවට අනුව, ට්‍රම්ප් ට කොලරාඩෝ ප්‍රාන්තයෙන් ජනපති ධුර අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකිය.

කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, 14 වැනි සංශෝධනයේ විධිවිධානවලට අනුවය. ඇමෙරිකන් ශ්‍රේෂ්ඨාධිකරණයක්, ජනාධිපති ධුර අපේක්ෂකයකුගේ අපේක්ෂකත්වය අහෝසි කළ පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ ට්‍රම්ප්ට එරෙහිව තීන්දුවක් ලබා දුන්නේ, මීට වසර 3 කට පෙර, ට්‍රම්ප්ගේ උසි ගැන්වීමෙන්, ඔහුගේ ආධාරකරුවන්, වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) රැස් වෙන්නේ කැපිටල් හිල් ගොඩනැගිල්ලේය.

2020 නොවැම්බරයේ ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්විණි. එයින් ට්‍රම්ප් පරාජයට පත් වූ අතර, ජයග්‍රහණය කළේ ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය.

2021 ජනවාරි 6 වැනිදා, සමාජ මාධ්‍ය ඔස්සේ ට්‍රම්ප් කළ උසි ගැන්වීම් හේතුවෙන්, ප්‍රකෝප වූ ඔහුගේ ආධාරකරුවෝ 2,000 ක පමණ පිරිසක් කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී කොංග්‍රස් මණ්ඩලයේ කටයුතුවලට බාධා කළහ. ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය අහෝසි කෙරුණේ එම සිද්ධිය මුල්කොට ගනිමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ එය ප්‍රජාතන්ත්‍ර විරෝධී තීන්දුවක් බවය. අධිකරණ තීන්දුව සම්බන්ධයෙන්, අභියාචනා ඉදිරිපත් කිරීමට ට්‍රම්ප් තීනීඥ කණ්ඩායම බලාපොරොත්තු වන බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පවසයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS