ට්‍රම්ප්ගෙන් යුක්රේනයට සතයක් ලැබෙන්නේ නෑ



ඩොනල්ඞ් ට්‍රම්ප් යළි ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වුවහොත්, රුසියන් යුක්රේන යුද්ධයේදී, යුක්රේනය වෙනුවෙන් එක සතයක් වියදම් නොකරනු ඇතැයි හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටෝර් ඔර්බාන් පවසයි.

කොන්සවර්ටිව් මතධාරී හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටෝර් ඔර්බාන්, මෙසේ පැවැසුවේ, ෆ්ලොරීඩාවට පැමිණ, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවී සාකච්ඡා කිරීමෙන් පසුවය.

‘ට්‍රම්ප් යළි ජනාධිපති ධුරයට පත්වුවහොත්, ඔහු යුක්රේනයට ලබා දෙන ආධාර නවත්වනවා. එවිට රුසියන් යුක්රේන යුද්ධයත් ඉඹේටම නතර වේවි.’ යැයි ට්‍රම්ප් හමුවීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ වික්ටෝර් ඔර්බාන් පැහැදිලි කළේය.

ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ධුරය හෙබවූයේ එක් ධුර කාලයක් පමණි. මෙම 2024 නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ට්‍රම්ප් ඉදිරිපත් වෙයි. ඒ, රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබල ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙසය.

තමන් යළි ජනාධිපති ධුරයට පත්වුවහොත්, රුසියන් යුක්රේන යුද්ධය පැය 24 කින් අවසන් කරන බව ට්‍රම්ප් අවධාරණය කර ඇත. ඒත් ඒ සම්බන්ධයෙන් ට්‍රම්ප් වැඩි විස්තර කිසිවක් පවසා නැත.

රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ යුක්රේනය ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. ‘නේටෝ’ යුද සන්ධානයකි. ඇමෙරිකාව සහ යුරෝපා බටහිර රටවල් එක් වී, ‘නේටෝ’ සංධානය පිහිටුවා ඇත්තේ, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමටය.


RECOMMEND POSTS