ට්‍රම්ප් බොන පෙත්ත



ලොවට වසංගතයක් වූ ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි එන්නතක් හෝ ඔසුවක් හෝ නිපදවා නැත. වයිරසයෙන් දරුණු ලෙස බැටකන්නේ ඇමෙරිකාවය. ‘කොවිඞ් 19’ හේතුවෙන් ජනපති ට්‍රම්ප් දිනපතා පුවත් මවන්නකු වී ඇත. ජනපති ට්‍රම්ප් විටෙක වෛද්‍යවරයකු ලෙස ද කටයුතු කරයි. ඒ, ‘කොවිඞ් 19’ සම්බන්ධයෙන් ඇමෙරිකන් වැසියන්ට ඖෂධ නිර්දේශ කරමිනි.

මාස්ක් පැලඳීම ප්‍රතික්ෂේප කරන, ජනාධිපතිවරයා ඇමෙරිකන් වෛද්‍ය සභාව එපා කියද්දී, ඇමෙරිකන් වසංගත රෝග විද්‍යා ආයතනයේ ප්‍රධානියා එපා කියද්දී, ධවල මන්දිර ප්‍රධාන වෛද්‍යවරයා එපා කියද්දී, ‘කොවිඞ් 19’ ආසාදනය වීමෙන් වැලැකීමට දිනපතා බෙහෙත් පෙත්තක් පානය කරයි. සති එකහමාරක් තිස්සේ තමන් මෙම බෙහෙත භාවිතයට ගන්නා බව ට්‍රම්ප් පසුගිය දා පුරසාරම් දෙඩුවේය. ජනපති ට්‍රම්ප් දිනකට එක බැගින් භාවිතයට ගන්නා බෙහෙත් පෙත්ත මැලේරියා නාශකයක් වන ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ය.

තමන් දිනකට එක බැගින් සති එකහමාරක් තිස්සේ ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ පෙත්තක් භාවිතයට ගත් බව ජනපති ට්‍රම්ප් පැවැසුවේ පසුගිය 19 වැනිදාය. ‘කොවිඞ් 19’ වයිරසයෙන් ආරක්ෂා වීමට එය තමන්ට උපකාරි වන බව ජනපති ට්‍රම්ප් පැවැසුවේ ලොක්ඩවුන් තහංචි ලිහිල් කරමින් ඇමෙරිකාව යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ අවන්හල් හිමිකරුවන් හමුවී සාකච්ඡා කළ අවස්ථාවේදීය. ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ භාවිතය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දිගින් දිගටම විමසූ අවස්ථාවේදී 73 හැවිරිදි ජනපතිවරයා මෙසේ පැවැසුවේය. ‘වයිරසයෙන් බේරෙන්න මම සති එකහමාරක් තිස්සේ හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් පෙත්තක් දිනපතා බොනවා. වයිරසය සමඟ සටන් වදින සෞඛ්‍ය බලධාරීන් වෛද්‍යවරුන් ඇතුළු බොහෝ දෙනකු හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් දිනපතා බොනවා. එසේ කරන්නේ වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීමට. හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් බීවා කියලා හොඳක් මිසක් නරකක් නැහැ. හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් යනු වසර 40 ක් තිස්සේ මැලේරියාවටත් ලූපස් රෝගයටත් ප්‍රතිකාරයක් ලෙස නිර්දේශ කරන ඔසුවක්. එහි ගුණ ඔබ පුදුම කරවාවි. මම බය නැතිව හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් බොනවා’

හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ඖෂධය අතුරු ආබාධවලින් පිරුණු එකක් බවත් වෛද්‍ය අධීක්ෂණයකින් තොරව භාවිතයට නොගත යුතු බවත් ඇමෙරිකන් වෛද්‍යවරු පුනපුනා පවසා ඇත. ජනපති ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමඟ ධවල මන්දිරයේ ට්‍රම්ගේ වෛද්‍යවරයා ලෙස කටුයතු කරන වෛද්‍ය ෂෝන් කොන්ලි කලබල විය. ඔහු තරයේ කියා සිටියේ තමන් කිසිම අවස්ථාවක හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ඔසුව ට්‍රම්ප්ට නිර්දේශ කර නැති බවය.

‘කොවිඞ් 19’ වයිරසයට තවමත් කිසිදු එන්නතක් හෝ බෙහෙතක් හෝ සොයාගෙන නොමැති බැවින්, මරණාසන්න රෝගීන්ට හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ලබා දීම ආරම්භ කළේ ප්‍රංශ වෛද්‍යවරුන්ය. ආරම්භයේ දී එය සාර්ථක වූ අතර හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් සුදුසු බව මුලින්ම ලොවට නිර්දේශ කළේ ද ප්‍රංශයයි. කෙසේ නමුත් පසුව ප්‍රංශ වෛද්‍ය සභාව ප්‍රකාශ කළේ ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ ඔසුව, කොවිඞ් 19 ආසාදිතයන්ට ලබා දීම වහා නැවැත්විය යුතු බවය. ඒ, ‘හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන්’ භාවිතයට ගත් බොහෝ දෙනකු හෘද රෝගීන් බවට පත් වී ඇති නිසාය.

තමන් හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් භාවිතයට පෙලඹුණේ නිව්යෝක් වෛද්‍යවරයකුගේ උපදෙස් මත යැයි ද ජනපති ට්‍රම්ප් පවසා ඇත. මෙම නිව්යෝක් වෛද්‍යවරයා ව්ලැදිමීර් සෙලෙන්කෝ යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා අනාවරණය කර ඇත. ‘කොවිඞ් 19’ රෝගීන්ට හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් ලබා දීම සුදුසු යැයි වෛද්‍ය ව්ලැදිමීර් සෙලෙන්කෝ මීට පෙර අවස්ථාවක ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් පුවත් නාළිකාවට පවසා තිබෙ. ඇමෙරිකන් වෛද්‍ය සභාව පවා හයිඩ්‍රොක්සික්ලෝරෝක්වීන් නුසුදුසු යැයි තීරණය කර ඇති අවස්ථාවක එය භාවිත සුදුසු යැයි වෛද්‍යවරයා ව්ලැදිමීර් සෙලෙන්කෝ පැවැසීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

‘ඬේලිමේල්’ ඇසුරිනි


RECOMMEND POSTS