ට්‍රම්ප් පුටින් හමුව අවලංගුයි



රුසියාවේ විශාලතම තෙල් සමාගම් වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කර ගනිමින් නව සම්බාධක පැනැවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය. ට්‍රම්ප්ගේ මෙම තීරණයත් සමඟ ට්‍රම්ප් හමුවීම තමන් ප්‍රතික්ෂේප කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැවැසීය.

රුසියාවේ විශාලතම තෙල් සමාගමවලට සම්බාධක පැනැවීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කළේ, රුසියන් යුක්රේන යුද්ධය නවත්වා සටන් විරාමයකට සහ සාම වැඩපිළිවෙළකට යන්නැයි රුසියාවට බල කරමිණි.

“තවත් බලන් ඉන්න බැහැ. රුසියාව යුක්රේනයට දිගින් දිගටම පහර දෙනවා. සාමය ගැන බලාපොරොත්තු දිගින් දිගටම සුන්වෙනවා. ඒ නිසා මට සිද්ධ වෙනවා රුසියාවේ ලොකුම තෙල් සමාගම් දෙකට තව තවත් සම්බාධක පනවන්න” යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත.

ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් හමුවී සාකච්ඡා කිරීමෙන් පසුවය. දෙදෙනාගේ හමුව පැවැත්වූයේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදීය.

නේටෝ යනු යුද සංවිධානයකි. නේටෝ සංවිධානය පිහිටුවා ඇත්තේ ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල් එක් වෙමින්, රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමේ අරමුණින්ය. 

රුසියාවේ අසල්වැසියා වන යුක්රේනය, නේටෝ සාමාජිකත්වය ඉල්ලයි. රුසියාව සලකන්නේ මෙය ඔවුන්ට තර්ජනයක් ලෙසය. රුසියාව, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළේ ඒ අනුවය.

රුසියාවත්, යුක්රේනයත් අතරේ සටන් විරාමයක් සහ සාම වැඩපිළිවෙළක් ඇති කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී සිටී. ඔහු යළිත් වරක් හංගේරියාවේ දී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමට තීරණය කළත්, එම හමුව පසුව කල් දැමුණි. දැන් පුටින් තීරණය කර ඇත්තේ තමන් ට්‍රම්ප් හමුනොවන බවය.

සාමයට කැමැති බව පැවැසුවත්, රුසියාව දිගින් දිගටම යුක්රේනයට ප්‍රහාර එල්ල කරමින් සිටී. පසුගිය දා එසේ එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයකින් කුඩා දරුවන් ද ඇතුළු හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙය ට්‍රම්ප්ගේ දැඩි අප්‍රසාදයට හේතුවක් විය.

ඇමෙරිකාව, රුසියාවේ තෙල් සමාගම්වලට පමණක්, තවත් අංශ රැසකට සම්බාධක පැනවීම් කර ඇත. ඒ එරට ආර්ථිකය අඩපණ කිරීමේ අරමුණින්ය. රුසියන් යුක්රේන යුද්ධයට අවශ්‍ය මුදල් ලැබෙන්නේ රුසියාව ඔවුන්ගේ තෙග් ගනුදෙනුවලිනි.

රුසියන් තෙල් සමාගම්වලට සම්බාධක පනවා තිබියදී පවා, ඉන්දියාව, චීනය සහ ඇතැම් යුරෝපා රටවල් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම කරයි. මෙය රුසියාවට වාසියක් වී ඇත. මෙය ද ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි අප්‍රසාදයට හේතුවක් වී ඇතැයි පැවැසෙයි.


RECOMMEND POSTS