ට්‍රම්ප් නිරෝධායනයේ

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් යැයි තහවුරු වීමත් සමඟ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා නිරෝධායනයට යොමු කළ බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
නිරෝධායනයට යොමු කළ ට්‍රම්ප් සහ මෙලානියා යුවල දින හතකින් සහ 14 කින් යළි කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කරන බව ට්‍රම්ප්ගේ ධවල මන්දිර වෛද්‍ය ෂෝන් කොන්ලි පවසා තිබේ.
ආසාදිතයන් බව තහවුරු වුවත්, ට්‍රම්ප්ගෙන් හෝ මෙලානියාගෙන් හෝ කොරෝනා රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන බව වෛද්‍යවරයා නිකුත් කළ නිවේදනයක දැක්විණි. නිරෝධායනයේ සිටියත් ට්‍රම්ප් දිගටම සිය රාජකාරිවල නියැලෙන බව ද ධවල මන්දිරය වැඩි දුරටත් පවසා ඇත.
තමා ඇතුළු විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් පැය 24 පුරා ට්‍රම්ප් සහ මෙලිනියා සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව ද වෛද්‍ය ෂෝන් කොන්ලි වැඩි දුරටත් පවසා තිබේ.
ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් 3 වැනිදාය. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් රිපබ්ලිකන් පක්ෂයෙන් ට්‍රම්ප් ඊට ඉදිරිපත් වෙයි. ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වන්නේ ඩිමොක්රටික් අපෙක්ෂක ජෝ බයිඩන්ය.
ඊට පෙර රූපවාහිනී සජීවී විවාද හතරක් පැවැත්වෙන අතර, එයින් එකක් පසුගිය 30 වැනිදා පැවැත්විණි. නිරෝධායනයට ලක්වන බැවින් ඉතිරි විවාද සඳහා හෝ ජන රැලි සඳහා හෝ ට්‍රම්ප්ට සහභාගීවීමට නොහැකි වනු ඇති බව පැවැසෙයි. ධවල මන්දිරය පවසා ඇත්තේ, ට්‍රම්ප්ගේ සෞඛ්‍ය තත්ත්වය අනුව, එම විවාද වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේ පැවැත්වීමට කටයුතු කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණය කරන බවය.
තමා සහ සැමියා කොරෝනා ආසාදිතයන් බව තහවුරු වීමෙන් දෙදෙනාම එකට නිරෝධායනය වන බවත්, දෙදෙනා එක්ව වයිරස පරාජය කරන බවත් ට්‍රම්ප් බිරිඳ මෙලානියා නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙයි.
කොරෝනා ආසාදිතයන් යැයි සැක කරමින් ට්‍රම්ප් සහ මෙලානියා වෛද්‍ය පර්යේෂණ සඳහා යොමු කෙරුණේ, ජනපති ට්‍රම්ප්ගේ උපදේශිකාවක වන 31 හැවිරිදි හෝප් හික්ස් කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමත් සමඟය.
පසුගිය 30 වැනිදා ඇමෙරිකන් ජනපතිවරණය වෙනුවෙන් පළමු රූපවාහිනී සජීවී විවාදය, ගාලගෝට්ටි මැද ඔහියෝ ජනපදයේ ක්ලීව්ලන්ඞ් නුවරදී පැවැත්විණි. ඊට සහභාගී වූ ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අතර හෝප් හික්ස් ද වූවාය. ට්‍රම්ප් මෙලානියා පමණක් නොව, ධවල මන්දිර කාර්ය මණ්ඩලයේ කිසිවකු මුහුණු ආවරණ පැලඳ සිටියේ නැතැයි පැවැසෙයි.
චීනයෙන් ආරම්භ වූ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකාවය. ඇමෙරිකාවේ ආසාදිතයන් ගණන අද (2) වනවිට 7,494,671 ක් දක්වා ඉහළ ගියේය. මරණ වාර්තා වන්නේ 2,12,660 ක් ලෙසිණි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, කොරෝනා වයිරසය අවතක්සේරු කළ අයකු යැයි චෝදනා ලැබ සිටී. ට්‍රම්ප් සහ මෙලානියා කොරෝනා ආසාදිතයන් යැයි වාර්තා වෙද්දී, එම පුවත කොරෝනා වයිරසයෙන් ඇමෙරිකානුවන් බොහෝ දෙනකුට මහත් අස්වැසිල්ලක් වූ බව එරට මාධ්‍ය සඳහන් කළේය.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

