ට්‍රම්ප් ජාතික ආරක්ෂාවට තර්ජනයක්



ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, රහසේ රුසියාව සමඟ හිතවත්කම් පවත්වමින්, රුසියාවේ ඕනෑඑපාකම් ඉටුකරලීමට කටයුතු කරන බවත්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් එෆ්.බී.අයි. පරීක්ෂකයන් චෝදනා කර ඇතැයි ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ට්‍රම්ප් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ද නැද්ද යන්න සෙවීමට එෆ්.බී.අයි. කාර්යාංශය මේවනවිට විශේෂ පරීක්ෂණ කිහිපයක් ආරම්භ කර ඇති බව ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇත.

නිව්යෝක් ටයිම්ස් වාර්තාවේ සඳහන් වන අන්දමට එෆ්.බී.අයි. පරීක්ෂකයන් ජනාධිපති ට්‍රම්ප් සම්බන්ධයෙන් මෙම පරික්ෂණ ආරම්භ කර ඇත්තේ  2017 වසරේ සිටය. ඒ, එවකට එෆ්.බී.අයි. කාර්යාංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජේම්ස් කොමී එම තනතුරෙන් ඉවත් කිරීමට ට්‍රම්ප් කටයුතු කිරීම නිසාය.

කෝටිපති ව්‍යාපාරිකයකු ද වන ඩොනල්ඞ් ට්‍රම්ප්, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වූයේ 2016 වසරේ පැවැති ජනාධිපතිවරණයෙනි. බොහෝ දෙනාගේ විශ්වාසය වූයේ, ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ජනාධිපති ධුරයට පත් වනු ඇතැයි කියාය. කෙසේ නමුත් අනපේක්ෂිත අයුරින් ට්‍රම්ප් එම ධුරයට පත් විය.

එය සිදුවූයේ රුසියාව මැදිහත් වී, පරිගණක හැකර්වරුන් (දත්ත වෙනස් කරන්නන්) යොදවා, මැතිවරණ ප්‍රතිපල වෙනස් කිරීමට සැලැස්වීමෙන් යැයි චෝදනා නැගෙන්න විය. ජේම්ස් කොමීගේ ප්‍රධානත්වයෙන් එෆ්.බී.අයි. කාර්යාංශය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට උත්සාහ ගත් අවස්ථාවේදී, ජනපති ධුරයේ සිටි ට්‍රම්ප් මැදිහත් වී, ජේම්ස් කොමී එම තනතුරෙන් ඉවත් කළේය.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදු කර ඇති මෙම අනාවරණය සම්බන්ධයෙන් ධවල මන්දිරය විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, එම වාර්තාව අසත්‍ය බවය. ‘ජේම්ස් කොමී තනතුරෙන් ඉවත් කෙරුණේ ඔහුගේ වැරදි තිබුණු නිසයි. ට්‍රම්ප් ගැන පරීක්ෂණ පවත්වන්න උත්සාහ කළ නිසා නොවෙයි’ යැයි ධවල මන්දිර මාධ්‍ය ලේකම් සේරා හක්බී, මාධ්‍ය හමුවේ පවසා ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS