ට්‍රම්ප්-කිම් සමුළුවට උපරිම ආරක්ෂාවක්



ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහභාගී වන සමුළුවට උපරිම ආරක්ෂාවක් ලබා දෙන බව වියට්නාමය කියයි.

සමුළුව හෙට (27) සහ අනිද්දා (28) හැනොයි අගනුවරදී පැවැත්වෙයි. හැනොයි අගනුවර සමුළුව පැවැත්වීමට ඇමෙරිකාව සහ උතුරු කොරියාව තීරණය කළ අවස්ථාවේදී, වියට්නාම රජයට ඒ සඳහා සූදානම් වීමට ලැබුණේ දින 10 ක කාලයකි.

සමුළුවේ ආරක්ෂාව වෙනුවෙන් පමණක් නොව, ජනපති ට්‍රම්ප්ගේත්, නායක කිම් ජොන් උන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් විශේෂ පොලිස් සහ හමුදා බළඇණි යෙදවීමට ද වියට්නාම රජය තීරණය කර ඇත.

හමුවේ මාධ්‍ය ආවරණ කටයුතු වෙනුවෙන් රටවල් 40 ක් නියෝජනය කරමින් විදෙස් මාධ්‍යවේදීන්, කැමරා ශිල්පීන් ඇතුළු 3,000 ක පිරිසක් මේ වනවිට හැනොයි බලා පැමිණ සිටිති.

හැනොයිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS