ට්‍රම්ප් උපදේශිකා කෙලියෑන් ධුරයෙන් ඉවත් වෙයි



ඇමෙරිකා ජනාධිපකි ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස රාජකාරි කළ කෙලියෑන් කොන්වේ සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.

ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ 2016 දීය. 2016 දී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපී පෙනන සේවයක් කළ  ප්‍රබල දේශපාලන චරිතයක් ලෙස කෙලියෑන් කොන්වේ සැලකෙයි. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ට්‍රම්ප්ට දේශපාලන තීන්දු තීරණ ගැනීමේ දී උපදේශිකාව ලෙස කටයුතු කළේ කොලියෑන් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

‘දේශපාලනය ඇති. දරුවන් වෙනුවෙන් කාලය ගත කරන්න ඕනෑ’ යැයි කෙලියෑන් කොන්වේ, මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසුවාය.  තමන් ධුරයෙන් ඉවත් වන්නේ එය තමන්ගේ තීරණයක් නිසා යැයි ද කෙලියෑන් කොන්වේ එම අවස්ථාවේදී පැහැදිලි කළාය. කෙලියෑන්ගේ සැමියා ජෝර්ජ් ද දේශපාලන කටයුතුවලට සම්බන්ධ අයෙකි. ඔහු ද පවසා ඇත්තේ දේශපාලනයෙන් සමුගන්නා බවය.

ඇමෙරිකා ජනාධිපතිවරණය ලබන නොවැම්බරයේ පැවැත්වෙයි. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂාවෙන් ඩොනල්ඞ් ට්‍රම්ප් ඊට සහභාගී වෙයි. කොරෝනා වයිරස ව්‍යාප්තිය වැලක්වා ගැනීමට අපොහොසත් වීම සහ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීම හේතුවෙන් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇතැයි සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS