ට්‍රම්ප් ආධාරකරුවන්ට අත වනයි

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු වී, වෝල්ටර් රීඞ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිද්දී, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රිය පෙරහරකින්, එම වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිටට රැස්වුණු සිය ආධාරකරුවන්ට අතවැනීමට ගියේය.
මේරීලන්ඞ් හි පිහිටි වෝල්ටර් රීඞ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් දහසකට ආසන්න පිරිසක් රැස් වී සිටින්නේ ට්‍රම්ප්ට ඉක්මන් සුව පතමිනි.
ට්‍රම්ප් සිය ආධාරකරුවන්ට අත වැනීමට ගියේ ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් පිරිවරා ගනිමිනි. රිය පෙරහැරට එස්.යූ.වී. වර්ගයේ ජිප් රථ කීපයක් එක් වුණු අතර ට්‍රම්ප් එක් රථයක පසුපස අසුනට වී, මුහුණු ආවරණයක් පැලඳ වීදි දෙපස සිටි පිරිසට අතවනන්න විය. රථය පැදවූයේ ජනපති ආරක්ෂක අංශ නිලධාරියෙකි. ඔහු මුහුණු ආවරණයක් පැලඳ සිටියේය. එම රිය පෙරහැර මිනිත්තු කීපයකට සීමා වූ අතර, ට්‍රම්ප් යළි වෛද්‍ය මධ්‍යස්ථානයට ගියේය.

ඇමෙරිකා ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ නොවැම්බර් 3 වැනිදාය. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය වෙනුවෙන් ට්‍රම්ප් රිපබ්ලිකන් පක්ෂයෙන් ට්‍රම්ප් ඊට ඉදිරිපත් වීමට නියමිතය. ට්‍රම්ප් සිය ආධාරකරුවන්ට අත වනන්න ගියේ ඔහු නිරෝගීව සිටින බව ඔවුන්ට ඒත්තු ගැන්වීමටය.
ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රතිකාර ලබමින් සිටින්නේ, හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ 71 වැනි වාට්ටුවේ සියලු පහසුකම්වලින් පිරුණු අති සුඛෝපබෝගී කාමරයකය. ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගත් ප්‍රභූවරුන් ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් ඇතුළත් කරන්නේ මෙම වෛද්‍ය මධ්‍යස්ථානයට බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.
ට්‍රම්ප් කඩිනමින් රෝහල් ගත කෙරුණේ ඔහුගේ වයස සහ ස්ථුලභාවය සැලකිල්ලට ගනිමිණි. ට්‍රම්ප්ගේ වයස අවුරුදු 74 ක් වන අතර ඔහු සිටින්නේ කොරෝනා අවදානම් වයස් කාණ්ඩයේය. හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් පැය 24 පුරා ට්‍රම්ප් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවත්, ට්‍රම්ප්ට සින්ක්, විටමින් ඩී, ෆැමොටඩීන්, මෙලටොනීන් සහ ඇස්ප්‍රීන් ලබා දෙන බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.
එක් මාධ්‍ය වාර්තාවක සඳහන් වූයේ ට්‍රම්ප්ගේ පෙනහළුවලට ඔක්සිජන් අඩු වූ බැවින් අවස්ථා දෙකකදී ඔක්සිජන් ලබා දීමට සිදුවුණු බවය. ඔක්සිජන් අඩුවුණු බැවින්, ට්‍රම්ප්ට ස්ටෙරොයිඞ් වර්ගයේ ඖෂධ වැඩි මාත්‍රාවක් ලබා දීමට ද වෛද්‍යවරුන් පියවර ගත් බව වාර්තා වේ.
කොරෝනා වයිරසය පෙනහළුවල පටකවලට හානි සිදු කරයි. පෙනහළු ආසාදනය වී, පුද්ගලයන් මියයන්නේ එහෙයිනි. පෙනහළුවලට ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබෙන්නේ නම්, වෙන්ටිලේටර් යන්ත්‍රවලට සම්බන්ධ කර, කෘත්‍රිමව ඔක්සිජන් ලබා දෙයි.
වොෂින්ටනයේදීය (රොයිටර්)

