ට්‍රම්ප් - ජිංපින් සාකච්ඡා අරඹයි



චීනයේ සංචාරයකට පැමිණ සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර අද (9) උදෑසන සාකච්ඡා පැවැත් වුණු අතර එහිදී උතුරු කොරියාව කෙරෙහි වැඩි අවධානයක් යොමු විය.

බීජීං අගනුවරට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමට චීන ජනපති ජින්පින් කටයුතු කළේය. සංස්කෘතික අංග රැසක් පිළිගැනීමේ උත්සවයට ඇතුළත් විය.

ට්‍රම්ප් සමඟ බිරිය මෙලානියා ද චීනයට පැමිණියාය. ට්‍රම්ප්, ජින්පින්, මෙලානියා සහ ජනපති ජින්පින්ගේ බිරිය පෙන්ග් ලියුවාන්  ඊයේ සවස (8) ‘තහනම් නගරයේ’ සංචාරයකට ද එක් වූහ.

උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික වැඩසටහන ඇමෙරිකාවට ජපානයට පමණක් නොව, මුළු ලොවටම තර්ජනයක් බව තමා පිළිගන්නා බව චීන ජනාධිපති ෂී ජින්පින් ඇමෙරිකා ජනපතිවරයාට එම අවස්ථාවේදී පවසා තිබේ.

සම්බාධක හේතුවෙන් බටහිර රටවල් සමඟ ඇයිහොඳයිකම් නැති වුවත්, උතුරු කොරියාව චීනය සමඟ ශක්තිමත් සබඳතා පවත්වා ගෙන යයි. උතුරු කොරියාවේ මිසයිල වැඩසටහනටත්, න්‍යෂ්ටික වැඩසටහනටත් සහාය දක්වන්නේ අසල්වැසි චීනයයි.

ට්‍රම්ප් ඊයේ (8) චීනයට පැමිණියේ සිය පළමු ආසියානු සංචාරය අතරතුරේය. චීනයට පැමිණීමට පෙර, ඇමෙරිකාවේ සමීපතම මිතුරන් වන ජපානයේත්, දකුණු කොරියාවේත් ට්‍රම්ප් සංචාරය කළේය.

දකුණු කොරියාවේ දී, එරට පාර්ලිමේන්තුව ඇමැතීමට ට්‍රම්ප්ට අවස්ථාවක් උදා විය. එහිදී ඔහු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ට කෙළින්ම දොස් නැගුවේය.

ඇමෙරිකාව අවතක්සේරු නොකරන ලෙසත්, ඇමෙරිකාවට තර්ජනය කරමින් වැඩ වරද්දා නොගන්නා ලෙසත් ට්‍රම්ප් උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට පැවැසීය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS