ජෝ බයිඩන් ගැන විමර්ෂණයක් පවත්වන්න



එලැඹෙන 2020 ජනපතිවරණයේ ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂක ජෝ බයිඩන් සම්බන්ධයෙන් චීන රජය ද විමර්ශනයක් ආරම්භ කළ යුතු යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ප්‍රසිද්ධියේ මාධ්‍යවේදීන් පිරිසක් හමුවුණු අවස්ථාවේදීය. ජනපති ට්‍රම්ප්, ජනාධිපතිවරණ ප්‍රතිවාදී අපේක්ෂකයකුට එරෙහිව විදේශයකින් සහාය ඉල්ලූ දෙවැනි අවස්ථාව මෙයයි. කෙසේ නමුත් මෙවර, ජනපති ට්‍රම්ප් එම සහාය ඉල්ලීම කළේ මාධ්‍යවේදීන් හමුවේ ප්‍රසිද්ධියේය.

චීන සමාගම් කිහිපයක් ජෝ බයිඩන්ගේ පුතු හන්ටර් බයිඩන්ට ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 මුදලක් ලබා දී ඇත. හන්ටර් ලවා, පියා ජෝ බයිඩන් පොළොඹවා ගනිමින්, එම චීන සමාගම් ඇමෙරිකාවේ වැඩි වැඩියෙන් ආයෝජන අවස්ථා ඇති කර ගැනීමට උත්සාහ ගෙන ඇතැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් කිසිදු පැහැදිලි සාක්ෂියක් ඉදිරිපත් කර නැත.

‘චීන සමාගම් ඇමෙරිකානුවන්ගේ රැකියා අවස්ථා උදුරා ගනිමින්, ඇමෙරිකාවේ ආයෝජන වැඩි කර ගැනීමට හේතුව දැන් පැහැදිලියි. චීන සමාගම්වලින් ජෝ බයිඩන් සහ හන්ටර් බයිඩන්ට මුදල් ලැබී තිබෙනවා. චීන රජය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්විය යුතුයි’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටියේ ධවල මන්දිරයේ දකුණු ගෙවත්තේ රැස්ව සිටි මාධ්‍යවේදීන් අමතමිනි.

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මෙසේ ප්‍රතිවාදී අපේක්ෂකයාට ‘මඩ ගැසීමට’ චීන රජයේ සහාය ඉල්ලා සිටින්නේ, චීනය සමඟ වෙළෙඳ යුද්ධයකට පැටලී සිටිද්දීය. ඇමෙරිකාව චීනයටත්, චීනය ඇමෙරිකාවටත් තීරු බදු පැනැවීම් සිදු කර තිබේ. මෙම වෙළෙඳ යුද්ධය ගෝලීය වශයෙන් මුළු ලොවටම බලපෑමක් එල්ල කර තිබේ.

මේ වනවිට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ සූදානම් වෙති. ඒ, ජෝ බයිඩන්ට මඩ ගැසීමේ අරමුණින්, ට්‍රම්ප් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්සිකිගේ සහාය ඉල්ලූ බව අනාවරණය වී ඇති නිසාය.

ජනපති ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර එම දුරකතන කතාබහ පැවැත්වූයේ පසුගිය ජූලි 25 වැනිදාය. එම දුරකතන කතාබහ ප්‍රසිද්ධියට පත් වූයේ ධවල මන්දිරයේ බුද්ධි අංශ නිලධාරියකු එම දුරකතන කතාබහේ සියලු විස්තර ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කිරීමෙන් පසුවය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS