ජොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත: පාකිස්තානුවෙක් අත්අඩංගුවට



ජනාධිපති ධුර රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියට අදාලව, ඇමෙරිකා පාකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට ගත් බවත්, 46 හැවිරිදි අසීෆ් රාසා මර්චන්ට් නමැති එම පුද්ගලයා ඉරානය සමඟ සමීප සබඳතා පවත්වන අයකු බවත් අනාවරණය වී තිබේ.

2020වසරේ දී ට්‍රම්ප් ඇමෙරිකන් ජනාධිපති ධුරය හොබවද්දී, ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව ඉරාන විප්ලවීය හමුදා ප්‍රධානී කසීම් සුලෙයිමානී ඝාතනය කෙරුණි. එම සිද්ධිය මුල්කොට ගනිමින්, ඉරනය ට්‍රම්ප්ගෙන් පළිගන්නා බව දිවුරා පොරොන්දු වී ඇත.

ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත අතර, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකයා වන්නේ ද ට්‍රම්ප්ය. පසුගිය ජූලි 13 වැනිදා පෙන්සිල්වේනියාවේ එළිමහන් ජන රැළියක් අමතමින් සිටිද්දී, ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. එයින් ට්‍රම්ප් සීරීම් තුවාල ලැබූ අතර, ට්‍රම්ප්ගේ ආරක්ෂාවට සිටි‘ සීක්‍රට් සර්විස්’ ජනපති ආරක්ෂක නිලධාරීන් එල්ල කළ ප්‍රකි ප්‍රහාරයකින් ට්‍රම්ප්ට වෙඩි තැබූ සැකකරු මියගියේය. 

වෙඩි තැබීම කළ එම සැකකරු තෝමස් මැතිව් කෲක්ස් නමැත්තාය. මොහු ට්‍රම්ප්ට වෙඩි තැබූවේ ඇයිදැයි සොයා විමර්ශන සිදු කරද්දී, එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකන් ෆෙඩරල් පරීක්ෂකයන්ට අසීෆ් රාසා මර්චන්ට් සොයා ගැනීමට හැකිවුණු බව පැවැසෙයි. එසේ වුවත් අසීෆ් රාසා මර්චන්ට් සහ තෝමස් මැතිව් කෲක්ස් සම්බන්ධයක් ගොඩ නැගීමට එෆ්.බී.අයි. පරීක්ෂකයන් සමත් වී නැත.

ඇමෙරිකා දේශපාලනඥයන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි අත්අඩංගුවේ පසුවන අසීෆ් රාසා මර්චන්ට්ට චෝදනා එල්ල වී තිබේ. එෆ්.බී.අයි. පරීක්ෂකයන්ට අනුව,  අසීෆ් රාසා මර්චන්ට්ට පාකිස්තානයේත් ඉරානයේත් බිරියන් දෙදෙනෙක් සහ දරුවෝ සිටිති. ඔහු නිතරම ඉරානයටත්, ඉරාකයටත් සිරියාවටත් ගමන් කර තිබේ. 

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS