ජේම්ස් වෙබ් අභ්‍යවකාශයේ රැඳවීම සාර්ථකයි



ඇමෙරිකාවේ නාසා අභ්‍යවකාශ ආයතනය, කැනඩා අභ්‍යවකාශ ආයතනය සහ යුරෝපා අභ්‍යවකාශ ආයතනය එක් වී නිපදවා උඩු ගුවනට යැවූ, 'ජේම්ස් වෙබ්' නමැති දැවැන්ත අභ්‍යවකාශ දුරේක්ෂය ඉතා සාර්ථකව අභ්‍යවකාශයේ ස්ථානගත කෙරුණු බව විදෙස් මාධ්‍ය ඊයේ (8) වාර්තා කළේය.

දුරේක්ෂය රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යවකාශයට යැවීම කළේ එය හකුළුවමිනි. දුරේක්ෂය අභ්‍යවකාශයේ නිසි තැන ස්ථානගත වූ පසු එය දිග හැරීම ඊයේ (8) සම්පූර්ණ කළේය. දුරේක්ෂය පණ ගැන්වීම ඉදිරි මාස කීපයේ දී සිදුවනු ඇති බව නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

'ජේම්ස් වෙබ්' අභ්‍යවකාශ දුරේක්ෂය වසර 24 ක් තිස්සේ නිපදවූ දැවැන්ත දුරේක්ෂයකි. දුරේක්ෂය නිපදවීමට වැයවී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 9.6 කට වැඩිය. 'ජේම්ස් වෙබ්' දුරේක්ෂයේ විෂ්කම්භය මීටර් 6.5 කි. ෂඩාස්රාකාර රන්වන් දර්පන පද්ධතියකින් මෙය සමන්විතය.

'ජේම්ස් වෙබ්' දුරේක්ෂය, කාලය සහ අවකාශය අතරේ විහිදෙන ආලෝකය හසු කර ගනී. ඒ අනුව, එම ආලෝකයේ මුල, මැද සහ අවසානය පැහැදිලිව හඳුනා ගැනීම සිදුවනු ඇති බව පැවැසෙයි.

ජේම්ස් වෙබ්' දුරේක්ෂයට තරු, මන්දාකිණි, ග්‍රහලෝක ඇතුළු ග්‍රහ වස්තූන්ගෙන් නිකුත් වන මුල් ආලෝකය අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ කාලය සහ අවකාශය අතරේ විහිදෙන ආලෝකය හසු කර ගැනීමෙනි. ඒ අනුව, විශ්වය මූලාරම්භයේ රහස් සොයා ගැනීම විද්‍යාඥයන්ගේ අරමුණ වනු ඇත. 'ජේම්ස් වෙබ්' දුරේක්ෂය අභ්‍යවකාශ ගවේෂණයේ ඉතා වැදගත් සංධිස්ථානයක් බව නාසා ආයතනය පෙන්වා දෙන්නේ මේ නිසාය.

දුරේක්ෂය, 'ජේම්ස් වෙබ්' ලෙස නම් කර ඇත්තේ, 'ඇපලෝ' සඳ ගමන සිදුවෙද්දී, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජේම්ස් වෙබ් සිහි ගන්වමිනි. මොහු ඇමෙරිකාවේ නාසා ආයතනයේ දෙවැනි ප්‍රධානියාය.

(රොයිටර්)


RECOMMEND POSTS