ජින්පින්ගෙන් යුක්රේන ජනපතිට ඇමතුමක්



චීන ජනාධිපති ෂී ජින්පින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි. ඒ, රුසියන් යුක්රේන අර්බුදයට චීනය මැදිහත් වී හඳුන්වා දුන් කරුණු 12 කින් සමන්විත සාම වැඩපිළිවෙළ මුල්කොට ගනිමිනි.

මෙම සාම වැඩපිළිවෙළට, ඇමෙරිකාව ඇතුළු යුක්රේන හිතවාදී බටහිර රටවල් වැඩි කැමැත්තක් දක්වා නැති නමුත්, රුසියාව ඊට කැමැත්ත පළ කර තිබේ. සාම වැඩපිළිවෙළ සාර්ථක වීමට නම්, රුසියාව පමණක් නොව, යුක්රේනය ද ඊට කැමැත්ත පළ කළ යුතුය. චීනය මෙම සාම සැලැස්ම ඉදිරිපත් කළේ පසුගිය පෙබරවාරි මාසයේය. ඒ, චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවුණු අවස්ථාවේදීය.

දුරකතන කතාබහෙන් පසු, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මාධ්‍ය හමුවේ කියා සිටියේ එම කතාබහ ඵලදායී වූ බවය. දුරකතන කතාබහ පැයක් තිස්සේ සිදුවුණු බව මාධ්‍ය වාර්තා කර ඇත. යුද්ධය අවසන් කිරීමට ඇති එකම මඟ පිළිබඳව චීන ජනාධිපතිවරයා සහ යුක්රේන ජනාධිපතිවරයා අතරේ සාකච්ඡාවට බඳුන් වූයේ යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීගේ මාධ්‍ය ප්‍රකාශක සර්ගේයි නිකිෆ්‍රෝව් පවසා තිබේ.

මේ අතර, රුසියන් යුක්රේන අර්බුදය සමතයකට පත් කිරීමේ අරමුණින්, චීනය මැදිහත් වී, සකස් කළ සාම වැඩපිළිවෙළ කිසිම අවස්ථාවක අවතක්සේරු නොකරන්නැයි රුසියාව යුක්රේනයට දැනුම් දී ඇත. රුසියාව මේ බව දැනුම් දුන්නේ, එම සාම වැඩපිළිවෙළ සම්බන්ධයෙන්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ පළමු දුරකතන කතාබහෙන් පසුවය.

(රොයිටර්)


RECOMMEND POSTS