ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පාකිස්තානයට බිලියන 3 ක්



පාකිස්තාන රජය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, එරටට ඇමෙරිකන් ඩොලර් බිලියන 3 ක ණය මුදලක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිවිය.

එම ණය මුදලේ පළමු වාරිකය ලෙස ඩොලර් බිලියන 1.2 ක මුදලක් පාකිස්තාන රජයට හිමිවනු ඇත. ඉතිරිය මාස 9 ක් ඇතුළත ලබා දීමට නියමිත බව ද පැවැසෙයි.

මෙම ණය මුදලත් සමඟ පාකිස්තානයේ විදෙස් සංචිත ඩොලර් බිලියන 15 තෙක් ඉහළ යනු ඇතැයි පාකිස්තාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. වත්මන් පාකිස්තාන රජය චෝදනා කරන්නේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, රටේ ආර්ථික අර්බුදයට වගකිවයුතු බවටය. ඉම්රාන්ගේ රජය නිසි ලෙස ආර්ථිකය කළමනාකරණය නොකළ බැවින්, රට ආර්ථික අර්බුදයකට මුහුණ දුන් බවය.

පසුගිය ජූනි මාසයේ පාකිස්තානයේ පොලී අනුපාතය සියයට 22 කින් ඉහළ ගියේය. මෙය වාර්තාගත ඉහළ යෑමකි. උද්දමනය මේ වනවිට සියයට 30 ට ආසන්න වී ඇතැයි ද පැවැසෙයි.

ජාත්‍යන්තර මූළය අරමුදලෙන් ණය මුදල ලැබීමට පෙර පාකිස්තානයට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් ඇමෙරිකන් ඩොලර් බිලියනයක මුදලක් ද සෞදි අරාබියෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක මුදලක් ලැබුණු බව පැවැසෙයි.


RECOMMEND POSTS