ජපානයේ හිටපු අගමැති ඝාතනය කෙරේ

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේ වෙඩි තබා ඝාතනය කෙරුණි. හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කෙරුණේ නාගා නගරයේ ජනතා රැළියකට සහභාගී වී ජනතාව අමතද්දීය.
වෙඩි තැබීම කළේ ජනතාව අතරේ සිටි 41 ක් හැවිරිදි ජපන් ජාතිකයකු බවත්, ආරක්ෂක අංශ කඩිනමින් ඔහු අත්අඩංගුවට ගත් බවත් පැවැසෙයි. තමන් හිටපු අග්‍රාමාත්‍යවරයාට වෙඩි තැබුවේ, ඔහුගේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීමක් ලෙස යැයි අත්අඩංගුවට ගත් එම තරුණයා පවසා තිබේ.
වෙඩි ප්‍රහාරය අග්රාමාතවරයාගේ පපුව පසාරු කළ බවත්, සිහිසුන්ව ඇද වැටුණු ඔහුගේ හදවත නැවැතී තිබුණු බවත් ඔහුට ප්‍රථමාධාර දීමට ඉදිරිපත් වුණු පිරිස පැවැසූහ. වෛද්‍ය ආධාරකරුවන් පැමිණ හිටපු අග්‍රාමාත්‍යවරයා රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටියේය.
ජපානයේ වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ තැනැත්තා වන්නේ 67 හැවිරිදි ෂෙන්සෝ අබේය. 2012 සිට 2020 සැප්තැම්බරය තෙක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ අබේ, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ජනතාවට උපරිම සේවයක් ලබා දීමට නොහැකි බව පවසමිනි.
හිටපු අගමැති ෂෙන්සෝ අබේ වෙඩි ප්‍රහාරයෙන් ඝාතනය වූ නිවේදනය කරමින් පාලක ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය ප්‍රකාශ කළේ අබේ නාරා පළාතේ කෂිහාරා නුවර රෝහලකට කඩිනමින් රැගෙන ගිය බවත් එම අවස්ථව වනවිටත් ඔහු මියගොස් සිටි බවත්ය. ෂෙන්සෝ අබේ අගමැති ධුරයේ කටයුතු කළේ ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයට ශක්තිමත් නායකයකු වෙමිනි.
වත්මන් ජපාන අග්‍රාමාත්‍යවරයා මෙන්ම ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා ද වන ෆමුයියෝ කිෂිඩා කියා සිටියේ අබේට වෙඩි ප්‍රහාරය එල්ල වීම ඇසීමෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බවය. එය කිසිදු සමාවක් නොදිය හැකි කුරිරු ඝාතනයක් යැයි ද වත්මන් අග්‍රාමාත්‍යවරයා පැවැසුවේය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් මෙන්ම ධුරයෙන් සමුගන්නා බව නිවේදනය කළ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද සිද්ධිය ශෝක පනිවුඩ නිකුත් කර තිබේ.
(රොයිටර්)

