ජපානයට මිසයිලයක්

උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේ එරට හමුදාව ඔවුන්ගේ නවතම දිගු දුර බැලැස්ටික මිසයිලය අත්හදා බැලූ බවත්, එය ජපානයට ඉහළින් ගමන් කිරීමත් සමඟ ජපන් වැසියෝ මහත් සේ බියට පත් වූහ.
උතුරු කොරියාව ගුවනට විදිණු ලැබූ එම මිසයිලය ජපානයට ළඟා වී ඇත්තේ මිනිත්තු 8 ක කාලයකිනි. මිනිත්තු අට ඇතුළතදී මිසයිලය කිලෝ මීටර් 2700 ක දුරක් ගමන් කර තිබුණි. බැලැස්ටික යනු එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි මිසයිල වර්ගයයි.
ජපානය දූපත් රාජ්‍යයකි. මිසයිලය තම ගුවන් සීමාවට පිවිසෙද්දී, ජපන් හමුදාව සහ රජය ඒ ගැන අනතුරු ඇඟවීය. ජපන් හමුදාව සතු ප්‍රතිමිසයිල පමණක් නොව මිසයිල නාශක ආවි ආයුද සියල්ල සීරුවෙන් තැබුණි.
ජපන් ආරක්ෂක අංශ එරට උතුරුදිග දූපත්වල වැසියන්ට අනතුරු ඇඟවීම් කළේය. මහත් සේ බියට පත්වුණු ජපන් වැසියෝ ආරක්ෂිත ස්ථාන වෙත ගොස් සැඟවුණහ. බොහෝදෙනා ගොඩනැගිලි සහ නිවාසවල බිම්මහලවලට රිංගා ගත් බව ද ජපන් පුවත් සේවා වාර්තා කළේය.
මිසයිලය තම ගුවන් සීමාවට පිවිසෙද්දී එහි ගමන් මඟ හඳුනා ගැනීමට ජපාන හමුදාව සමත් විය. ඒ අනුව, එය පහර දී, බිම හෙළීමට කටයුතු නොකළ පව ද පැවැසෙයි.
මිසයිලය ජපාන දූපත් පසු කර ගොස් කැබැලි තුනකට කැඩී වෙන් වී, පැසිෆික් සාගරයට පතිත විය. මිසයිලය කැබැලි වී කඩා වැටුණේ ජපානයේ හොකයිඩෝ වෙරළ තීරයට ඔබ්බෙන් යැයි ද පැවැසෙයි.
උතුරු කොරියාව මීට පෙර ද ජපානය දෙසට මිසයිල යවා ඇත. ඒ සෑම අවස්ථාවදීම ජපානයෙන් ඊට විරෝධය එල්ල විය. මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් ජපාන අගමැති ෂෙන්සෝ අබේ සිය දැඩි විරෝධය පළ කළේය. තම රට වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම තීරණයක් ගන්නා බව හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
ජපාන අගමැති අබේ ජාත්‍යන්තරයට දන්වා ඇත්තේ උතුරු කොරියාව තම රටට පමණක් නොව, මුළු ලොවටම තර්ජනයක් වන අයුරින් සිදු කරන මිසයිල අත්හදා බැලීම්වලට විරුද්ධ වන ලෙසය. තම රටේ ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද ජපාන අගමැති ෂෙන්සෝ අබේ වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද උතුරු කොරියාවට දොස් නැගුවේය. ජපානයේ සහායට ඇමෙරිකාව සිටින බව ජපන් අගමැති ෂෙන්සෝ අබේට පැවැසුවේය. ඇමෙරිකාව මේ වනවිටත් උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත. ඒ, උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම් සම්බන්ධයෙනි. කිම් ජොන් උන්ගේ ‘හිතුවක්කාර’ ක්‍රියාකාරකම් කිසිසේත් අනුමත කළ නොහැකි යැයි ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
(ඒ.එෆ්.පී.)

