ජපාන අගමැති කිෂිඩා හිටිහැටියේ යුක්රේනයට



රුසියන් ආක්‍රමණය හමුවේ, යුක්රේනයට සහාය දෙන බව තහවුරු කරමින්, ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා යුක්රේනයේ කීව් අගනුවරට ගොස්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවී සාකච්ඡා පැවැත්වීය. ජපාන අග්‍රාමාත්‍යවරයා මෙසේ යුක්රේනය බලා ගියේ පෙර දැනුම්දීමකින් තොරවය.

ජපන් යුක්රේන මිත්‍රත්වය තව තවත් තහවුරු කර ගැනීමට ජපාන අග්‍රාමාත්‍යවරයා සමත් විය. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේ පටන් ජපානයේ සහාය දිගින් දිගටම හිමිවිය. යුක්රේන ආක්‍රමණයට එරෙහිව, ජපානය මේ වනවිට රුසියාවට සහ රුසියන් ජනාධිපතිවරයාට එරෙහිව සම්බාධක පනවා තිබේ.

ජපාන අග්‍රාමාත්‍ය කිෂිඩා පසුගිය දා ඉන්දියාවේ සංචාරයක නියැලුණි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඔහුට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. එම සංචාරයෙන් පසු ඔහු පෝලන්තය හරහා ආපසු ජපානය බලා යෑමට සූදානමින් සිටියේය.
කෙසේ නමුත් පෝලන්තයට ගිය අග්‍රාමාත්‍ය කිෂිඩා ජපානය බලා නොගොස්, යුක්රේනයේ කීව් අගනුවරට ගියේය.

පෝලන්තය යුක්රේනයේ අසල්වැසියාය. ජපාන අග්‍රාමාත්‍යවරයා පෝලන්තයේ සිට යුක්රේනයේ කීව් අගනුවර බලා ගියේ දුම්රියකිනි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS