ජනපති සටනින් කීයටවත් ඉවත් වෙන්නේ නෑ - බයිඩන්



කවුරු මොනවා කීවත්, එලැඹෙන නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවත්, තමන් කිසිම අවස්ථාවක ජනපති සටනින් ඉවත් නොවන බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කළ බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ කටයුතු කරන වයස්ගතම පුද්ගලයා වන්නේ 81 හැවිරිදි ජෝ බයිඩන්ය. මෙම වසරේ නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට බයිඩන් ඉදිරිපත් වෙන්නේ, හිටපු ජනාධිපතිවරයකු වන රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිවය.

පසුගිය දා බයිඩන් සහ ට්‍රම්ප් අතර සජීවී රූපවාහිනී විවාදයක් පැවැත්විණි. ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් සජීවී රූපවාහිනී විවාදයකට සහභාගී වීම ඇමෙරිකන් දේශපාලනයේ සම්ප්‍රදාය ලෙස සැලකෙයි.

කෙසේ නමුත් විවාදයේ දී බයිඩන් අපහසුතාවට පත් වුණු අතර, ඔහුට හරිහැටි වචන ගලවා ගැනීමට පවා නොහැකි විය. ඒ, ඔහුගේ වයස හේතුවෙනි. 78 හැවිරිදි ට්‍රම්ප්ට එය වාසියක් වුණු අතර, බයිඩන්ට ‘මඩ ගැසීමට’ ට්‍රම්ප් සමත් විය.

විවාදයෙන් පසු ඩිමොක්‍රටික් පක්ෂයේ වැඩි දෙනා බයිඩන්ට පැවැසුවේ, වෙන තරුණ අපේක්ෂකයකුට ඉඩ දී, ජනාධිපති සටනින් ඉවත් වන ලෙසය. 
බයිඩන් වෙනුවට, ට්‍රම්ප්ට අභියෝග කළ හැකි අපේක්ෂක අපේක්ෂිකාවන් කීප දෙනකු ඩිමොක්‍රටික් පක්ෂයේ සිටින බවත්, බයිඩන් කළ යුත්තේ ජනාධිපතිවරණ සටනින් ඉවත් වීම බවත් ඇමෙරිකාවේ ප්‍රධාන මාධ්‍ය අවධාරණය කළේය.

‘ඔව්, මම වයසයි. මම ඉස්සර වගේ නැහැ. අදහස් ඔළුවට ගලාගෙන එන්නේ නැහැ තමයි. වචන පැටලෙනවා තමයි. ඒත් ට්‍රම්ප්ට අභියෝගයක් වෙන්න මට තවමත් පුළුවන්. ට්‍රම්ප් කියන්නේ බොරු කාරයෙක්. තමන්ගේ වාසිය ගැන හිතන කෙනෙක්. මම ජනපති සටනින් ඉවත් වෙන්නේ නැහැ’ යැයි බයිඩන් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS