ජනපති ට්‍රම්ප්ට කේන්ති යයි



ධවල මන්දිරයේ මාධ්‍ය හමුවක් අතරතුරේ, මාධ්‍යවේදියකු ඇසූ පැනයකින් කෝපයට පත්වුණු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට සැරැසෙන ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ට බැණ වැදුණේය.

ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ඇමෙරිකා ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සූදානමින් සිටී. ඒ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්සි අතර පැවැති දුරකතන කතාබහක් අනාවරණය වීමත් සමඟය. දෝෂාභියෝගය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද පැවැත්වෙයි.

ඊයේ (2) ෆින්ලන්ත ජනාධිපති සඕලී නීලිස්ත ධවල මන්දිරයේ දී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් හමුවී ද්වී පාර්ශ්වීක සබඳතා තරකර ගැනීමට සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡාවලින් පසු ජනපති ට්‍රම්ප් සහ නීලිස්ත මාධ්‍ය හමුවකට එක් වූහ.

එම මාධ්‍ය හමුවට ඇමෙරිකාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීහු රැසක් සහභාගී වී සිටියහ. ඒ අතර,  බසිටි ජෙෆ් මේසන් නමැති මාධ්‍යවේදියා යුක්රේන ජනපතිවරයා සහ ට්‍රම්ප් අතරේ පැවැති සාකච්ඡා ගැනත්, එම සාකච්ඡා අනාවරණය වීමෙන් හටගත් අර්බුදය ගැනත් දිගින් දිගටම ප්‍රශ්න කරන්න විය.

‘මේ අහන්න, ෆින්ලන්තයේ ජනාධිපතිතුමා මෙතෙන ඉන්නවා. ඔහුගෙන් ප්‍රශ්න අසන්න. ඔහු ගැන ප්‍රශ්න අහන්න. අපි අතරේ කතාබහ වූ දේවල් ගැන අහන්න. වෙනත් ප්‍රශ්න අහන්න එපා. එහෙම කරන එක ඔහුට හොඳ නැහැ’ ජනාධිපති ට්‍රම්ප් මාධ්‍යවේදියාට පැහැදිලි කළේය.

කෙසේ නමුත් මේසන් දිගින් දිගටම සිය ප්‍රශ්නය ඉදිරිපත් කරද්දී, ට්‍රම්ප්ට කේන්ති ගියේය. ට්‍රම්ප්, මේසන්ටත් ඔහු නියෝජනය කරන මාධ්‍ය ආයතනයටත් බැණ වැදුණේය. අසත්‍ය පුවත් පළ කරන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන නැති ප්‍රශ්න ඇති කරනවා යැයි චෝදනා කළේය. ඉන්පසු ඇමෙරිකන් ජනාධිපතිවරයා ඩිමොක්‍රටික් නායකයන්ට දොස් කීමට පටන් ගත්තේය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS