ජනතා ගැටලුවලට පුටින්ගෙන් පිළිතුරු



රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, සජීවී රූපවාහිනී සහ ගුවන් විදුලි වැඩසටහනකට එක් වෙමින් රුසියන් වැසියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය.

'ජනපති පුටින්ගෙන් කෙළින්ම අහන්න' යන නමින් නම් කළ එම සජීවී මාධ්‍ය වැඩසටහන රුසියානු රාජ්‍ය රූපවාහිනී නාළිකා සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කෙරුණි.

ජනතා ප්‍රශ්වලට සෘජුව පිළිතුරු දෙන මෙම 'ජනපති පුටින්ගෙන් කෙළින්ම අහන්න' මාධ්‍ය වැඩසටහන වාර්ෂිකව පැවැත් වෙයි. දෙස් විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙහිදී ජනතාව ජනාධිපති පුටින් සමඟ සෟජුව සම්බන්ධ වෙමින් ප්‍රශ්න කරයි. කෙසේ නමුත් පසුගිය 2020 වසරේ මෙම වැඩසටහන පැවැත් වූයේ නැත. ඒ, 'කොවිඩ් 19' වසංගතය හේතුවෙනි.

මෙවර බොහෝ දෙනා 'කොවිඩ් 19' වසංගතයෙන් ජන ජීවිතයට එල්ල වී ඇති බලපෑම් ගැන ජනපති පුටින්ගෙන් විමසා සිටි අතර, ජනාධිපතිවරයා ඒවාට පැහැදිලි ලෙස පිළිතුරු දුන්නේය. තමන් ද 'ස්පුට්නික් 5' එන්නත ලබා ගෙන ඇති බවත් රුසියානුවන් සෑම දෙනකුම කළ යුත්තේ එන්නත ලබා ගැනීම බවත් පුටින් අවධාරණය කළේය.

'ස්පුට්නික් 5' ලොව පළමුවෙන්ම නිපදවූ සහ ලියාපදිංචි කළ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති නමුත් 'ස්ටුට්නික් 5' එන්නත සාර්ථක එන්නක් බව රටවල් රැසක පිළිගැනීම වි තිබේ. රටවල් බොහොමයක් මිලදී ගෙන ජනතාවට ලබා දෙන්නේ ද 'ස්පුට්නික් 5' එන්නතය.

'මා ලබා ගත්තේ ස්පුට්නික් 5 එන්නතයි. හමුදාවේ සැමට දුන්නෙත් එයයි. සේනාධිනායකයා විදියට මට වෙනත් එන්නක් ලබා ගන්න බැහැ' යැයි පුටින් වැඩසටහන මෙහෙයවීම කළ මාධ්‍යවේදිනියට පැවැසුවේ සිනහවෙමිනි.

'එන්නත ලබා ගනිද්දී මට දැනුනේවත් නැහැ. පළමු එන්නත ලබා ගැනීමෙන් පසු පොඩි ඇඟට අමාරුවක් දැනුනා. දෙවැනි එන්නත ලබා ගත්තාම සෙල්සියස් 37.2 ට උණ ගතියක් ආවා. පහුවදා උදේ වෙද්දී අමාරුකම් සියල්ල මඟ හැරී ගොස් තිබුණා. එන්නත් ලබා ගැනීම අනිවාර්ය නැහැ. කාටවත් එන්නත් ගන්නැයි බලකරන්න බැහැ. ඒත් එන්නත ලබා ගන්නවා නම් හොඳයි' යැයි රුසියන් ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

රුසියාව සහ බටහිර රටවල් අතර සබඳතා ගැනත්, යුක්රේනයට රුසියාව මැදිහත් වී කටයුතු කිරීම සම්බන්ධයෙනුත්, රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිගේ අත්අඩංගුවට ගැනීම ගැනත්, සයිබර් ප්‍රහාර සම්බන්ධයෙන් රුසියාවට එල්ල වන චෝදනා සම්බන්ධයෙනුත් ජනතාව ප්‍රශ්න ඇසූ බව පැවැසෙයි.

මොස්කව් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS