ජනගහනයෙන් 1/10 කට එන්නත ලැබිලා



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහන ඇමෙරිකාව තුළ සාර්ථකව ක්‍රියාත්මක වන බවත්, මේ වනවිට එරට සමස්ත ජනගහනයෙන් 1/10 ක පිරිසකට එන්නත් ලැබී ඇති බවත් ධවල මන්දිරය නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙයි.

ලෝකයේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැටකන රාජ්‍යය වන්නේ ඇමෙරිකාවය. මේ වනවිට ඇමෙරිකාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 30,000, 000 පසු කර ඇති අතර මරණ වාර්තා වන්නේ 5,41,000 ක් ලෙසය.

කෙසේ නමුත්, එන්නත්කරණ වැඩසටහන ආරම්භ වීමත් සමඟ ඇමෙරිකාවේ ‘කොවිඩ් 19’ මරණ පහළ යමින් පවතින බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. මරණ අඩුවීමට හේතුව එන්නත්කරණ වැඩසටහන යැයි සෞඛ්‍ය බලධාරීන් වැඩි දුරටත් පැහැදිලි කර තිබේ. මේ වනවිට ඇමෙරිකානුවන් මිලියන 32 කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බව ද එරට පුවත් සේවා වාර්තා කර තිබේ.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ මැදිහත්වීමෙන් ඇමෙරිකානුවන්ට එන්නත් තුනක් මේ වනවිට ලබා දීම සිදුවෙයි. එම එන්නත් තුන වන්නේ ‘ෆයිසර්’, ‘මොඩර්නා’ සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ ය. මෙම එන්නත් තුනම ඇමෙරිකානු නිෂ්පාදන වන අතර, ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ එන්නත මාත්‍රා දෙකකින් සමන්විතය.

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත ලබා දෙන්නේ එක් මාත්‍රාවක් පමණි. මේ අතර, ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වැලැක්වීමට දෙන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්, පුද්ගලයන්ට කුඩා කණ්ඩායම් වශයෙන් හමුවෙද්දී, මුහුණු ආවරණ අනිවාර්ය නැතැයි බයිඩන් පරිපාලනය පවසයි. බයිඩන් පරිපාලනය මෙසේ පැවැසුවේ, සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නව නිර්දේශ අනුවය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS