ජගත් මහා මණ්ඩල සැසිය ඇරැඹේ



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ, 78 වන සැසිය අද (18) ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ආරම්භ වෙයි. මහා මණ්ඩල සැසිය ලබන 22 වැනිදා තෙක් පැවැත්වෙනු ඇත.

රාජ්‍ය නායකයන් 140 දෙනකු සහ නියෝජිතයෝ සමුළුවට සහභාගී වෙති. සමුළුවට සහභාගී නොවන රාජ්‍ය නායකයන් වන්නේ චීන ජනාධිපති ෂී ජින්පින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ය.

චීන ජනාධිපති ෂී ජින්පින් සැමවිටම ජගත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය මඟහරින ලෝක නායකයෙකි. රුසියන් ජනාධිපති පුටින් විදෙස් සංචාරවල නියැලෙන්නේ නැත. ඒ, ඔහු යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය නිසාය. පුටින් අත්අඩංගුවට ගැනීමට අන්තර්ජාතික අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති අතර, පුටින් විදෙස් ටෙකට පැමිණිය හොත් ඔහු අත්අඩංගුවට ගනු ඇතැයි බියක් පළ වී තිබේ.

යුක්රේනයට එරෙහිව රුසියාව ගෙන යන හමුදා ක්‍රියා මාර්ගය, ලිබියාවේ ජල ගැලීම්, කාලගුණ විපර්යාස, අප්‍රිකාවේ සිදුවන හමුදා කුමන්ත්‍රණ, හයිටියේ අර්බුදය ආදිය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ, 78 වන සැසියේ දී සාකච්ඡාවට බඳුන් වෙයි.
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සැසියට සහභාගී වෙයි.

මීට පෙර සෙලෙස්කී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වූයේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. ඇමෙරිකා පැමිණ සිටින සෙලෙන්ස්කී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.


RECOMMEND POSTS