ජගත් ආරක්ෂක මණ්ඩලය අසමත්



රුසියන් යුක්රේන අර්බුදයේ දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අසමත් වූයේ යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසයි.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මෙසේ පැවැසුවේ යුක්රේනයේ කීව් අගනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම ආයතනයයි. ලෝකයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යෑමේ ප්‍රධාන අරමුණින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පිහිටුවා ඇත.

යුක්රේනයේ යුදමය තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට ආරක්ෂක මණ්ඩලය අපොහොසත් වීම සම්බන්ධයෙන් ජගත් මහ ලේකම් ගුටරේස් මාධ්‍ය හමුවේ දී සිය කනගාටුව පළ කළේය.

‘මා පැහැදිලිව කියන්න ඕනෑ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අසමත්. යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීමට නොහැකි වූ නිසා ඔවුන් අසමත්. පවතින යුද ගැටුම් අවසන් කර ගැනීමට නොහැකි වීම නිසාත් ඔවුන් අසමත්. කළ හැකි හැමදේම කරමින් යුදමය තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම ඔවුන් කළ යුතු වුණා. ඒත් එහෙම වුණේ නැහැ. රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අසමත්.” යැයි මහ ලේකම්වරයා අවධාරණය කළේය.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කීව් අගනුවරට පැමිණියේ රුසියාව සමඟ හටගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සමඟ සාකච්ඡා පැවැත්වීමටය.

(රොයිටර්)


RECOMMEND POSTS