චීනයේ මැරකම්වලට බුරුලක් දෙන්නේ නෑ



චීනයේ මැරකම්වලට කිසිදු බුරුලක් ලබා නොදෙන බව ඇමෙරිකා ජනපති ධුරයට තේරී පත් වී සිටින ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් පවසයි.

ධුරය අහිමි රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා, ජෝ බයිඩන්, චීනය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කිරීමට සැරසෙන බවත්, ඒ අනුව ඇමෙරිකා චීන සබඳතා තවත් අවුල් සහගත තත්ත්වයකට පත්වනු ඇති බවත් ජගත් දේශපාලන විශ්ලේෂකයෝ බිය පළ කරති.

චීන ජනාධිපති ෂී ජින්පින් ‘චණ්ඩියකු’ යැයි හඳුන්වා දෙමින්, චීනය කලාපීය රටවලට මෙන්ම, ගෝලීය වශයෙන් ද සිදු කරන බලපෑම්වලට එරෙහිවීමට පසුබට නොවන බව ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.

චීනයට අයත් වුවත් වෙනම පාලනයක් සහිත හොංකොං හි වැසියන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ද චීනයේ උයිගුර් මුස්ලිම් ප්‍රජාවට සිදුවන කෙණෙහිලිකම් සම්බන්ධයෙන් ද චීනය අසල්වැසි ආසියානු රටවලට සිදු කරන බලපෑම් සම්බන්ධයෙන් ද තමන් කනස්සල්ලට පත්ව සිටින බවත් අවශ්‍ය පරිදි ඒ සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගන්නා බවත් බයිඩන් පවසා ඇත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අයෙකි. ඒ, චීනය ඇමෙරිකානුවන්ගේ රැකියා උදුරා ගන්නා බවට චෝදනා කරමිණි. 2016 වසරේ දී ඇමෙරිකාව ‘ශ්‍රේෂ්ඨ තැනක් කරනවා’ යන පොරොන්දුව මත ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වූ අවස්ථාවේ පටන් ඔහු චීනය සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කළේය.

ට්‍රම්ප් පරිපාලන සමයේ ඇමෙරිකාවත් චීනයත් අතර වෙළෙඳ යුද්ධයක් ද හටගත්තේය. එම යුද්ධය තවමත් අවසන් නැත. යුද්ධය හටගත්තේ ඇමෙරිකාව චීනයටත්, චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පැනැවීමත් සමඟය. එම අර්බුදයට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවීමට උත්සාහ ගන්නා අවස්ථාවේදී චීනයෙන් කෙරෝනා වසංගතය හිස එසවීය.

කොරෝනා වයිරසය ලෝකයටත් ඇමෙරිකාවටත් වින කරද්දී, ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් ද දිගින් දිගටම දොස් පැවැරුමේ චීනයටය. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය චීන වයිරසය යනුවෙන් හඳුන්වා දීමට ට්‍රම්ප් අමතක නොකළේය. කෙසේ නමුත් කොරෝනා වයිරසය සම්බන්ධයෙන් බයිඩන් චීනයට දොස් නගා නැත.

චීනයට පක්ෂපාතීව කටයුතු කරමින්, වයිරස ව්‍යාප්තිය ලොවෙන් වසං කළේ යැයි චෝදනා කරමින්, ට්‍රම්ප් ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගත්තේය. බයිඩන් පවසා ඇත්තේ ට්‍රම්ප් ගත් එම තීන්දුව තමන් වහා නිවැරදි කරන බවත්, ගෝලීය වශයෙන් වයිරසය මැඩලීමට ඇමෙරිකාවේ පූර්ණ සහාය ලබා දෙන බවත්ය.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS