චීනයේ ප්‍රධාන තෙල් සැපැයුම්කරු රුසියාව



චීනයේ ප්‍රධානතම බොර තෙල් සැපයුම්කරු බවට පත්වී සිටින්නේ රුසියාව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රුසියාව, මෙසේ චීනයේ ප්‍රධානතම බොර තෙල් සැපයුම්කරු බවට පත් වී ඇත්තේ බටහිර සම්බාධක මධ්‍යයේය.

බටහිර රටවල් රුසියාවට සම්බාධක පනවා ඇත්තේ යුක්රේන ආක්‍රමණය මුල්කොට ගනිමිනි. සම්බාධක හේතුවෙන්, බටහිර රටවල් බොහෙමයක් රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම නැවැත්වීමට තීරණය කර තිබේ.

රුසියාව පවසා ඇත්තේ වට්ටම් සහිත මිලකට බොරතෙල් ලබා දෙන බවය. ඒ අනුව, මේ වන විට චීනයේ විශාලතම තෙල් සැපයුම්කරුවා බවට පත්වී සිටින්නේ රුසියාවය. 2021 වසරට සාපේක්ෂව චීනය, රුසියාවෙන් මිලදී ගන්නා තෙල් ප්‍රමාණය සියයට 55 කින් ඉහළ දමා ඇති බව ද වාර්තා වේ.

ගෙවුණු මැයි මාසයේදී චීනය, රුසියාවෙන් මිලදී ගත් තෙල් ප්‍රමාණයේ වාර්තාගත වැඩිවීමක් දක්නට ලැබුණි. එම මාසය තුළ පමණක් ඔවුන් රුසියාවෙන් මිලදී ගෙන තිබූ බොරතෙල් ප්‍රමාණ්‍ය ටොන් මිලියන 8.42කි.

මීට පෙර, චීනයේ විශාලතම තෙල් සැපයුම්කරුවා බවට පත්ව සිටියේ සෞදි අරාබියය. පසුගිය මාසයේ සෞදියෙන්, චීනය මිලදී ගත් තෙල් ප්‍රමාණය තෙල් ටොන් මිලියන 7.82ක් පමණි.

(රොයිටර්)


RECOMMEND POSTS