චීනයෙන් යළි ආසාදිතයන් හමුවෙයි



චීනයේ නගරයකින් යළිත් වරක් 'කොවිඩ් 19' ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. මෙම නව ආසාදිතයන් වාර්තා වූ බව පැවැසෙන්නේ ඊයේ (10) දිනයේය. හමුවුණු නව  ආසාදිතයන් ගණන 25 කි.

ආසාදිතයන් වාර්තා වන්නේ චීනයේ පුටියාන් නගරයෙනි. අහඹු ලෙස කළ වෛද්‍ය පරීක්ෂණයකින් මුල් ආසාදිතයන් හමුවුණු බවත්, ඉන්පසු ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා යද්දී සෙසු පිරිස හමුවුණු බවත් පැවැසෙයි. කෙසේ නමුත් කිසිවකුගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත් චීන ජාතික සෞඛ්‍ය කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පුටියාන් නගරය පිහිටා ඇත්තේ චීනයේ දකුණු දෙසින් පිහිටි 'ෆුජියාන්' පළාතේය. නගරය මේ වනවිටත් මුළුමනින්ම වසා දැමීමට තීරණය කර ඇති අතර, පෙර අවස්ථාවලදී කළාක් මෙන් ආසාදිතයන් හඳුනා ගැනීමට නගරයේ සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමට සිදුවනු ඇතැයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම වැඩි දුරටත් පවසා තිබේ.

චීනයෙන් මේ අයුරින් යළිත් ආසාදිතයන් වාර්තා වීමට පටන් ගත්තේ දින 17 කට පසුවය. මීට පෙර චීනයේ නගර කීපයක 'ඩෙල්ටා' විකෘතිය ව්‍යාප්ත විය. නගර සහ පළාත් මුළුමනින්ම වසා දමා සෑම කෙනකුම වෛද්‍ය පරීක්ෂණවලට යොමු කර, ආසාදිතයන් සහ ආශ්‍රිතයන් හඳුනා ගනිමින් වෙන් කිරීමත්, දැඩි සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ කටයුතු කිරීමත් නිසා 'ඩෙල්ටා' ව්‍යාප්තිය පාලනය කර ගැනීමට චීන සෞඛ්‍ය අංශ සමත් විය.
'කොවිඩ් 19' වයිරස වසංගතයේ ආරම්භය සිදුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. මේ වනවිට චීනයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 95,153 කි. චීනයේ 'කොවිඩ් 19' මරණ සිදුවූයේ වයිරස ව්‍යාප්තිය ආරම්භ වූ මුල් මාස කිහිපයේ පමණි. මෙම 2021 වසරේ කිසිදු 'කොවිඩ් 19' මරණයක් චීනයෙන් වාර්තා වූයේ නැත. ඒ අනුව සමස්ත මරණ 4,636 ක් ලෙස වාර්තා වේ.

මේ අතර, චීනය 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත් නිපදවීමට යොදා ගත් mRNA තාක්ෂණයට සමාන තාක්ෂණයක් යොදා ගනිමින් නව 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවීම ආරම්භ කර ඇත. මෙම එන්නතේ නිෂ්පාදන කටයුතු ලබන ඔක්තෝබරයේ ආරම්භ වනු ඇතැයි ද පැවැසෙයි. මෙම නව එන්නත නම් කර ඇත්තේ ARCoVax යනුවෙනි.
මෙම නව එන්නතේ  විශේෂත්වය වන්නේ, එය කාමර උෂ්ණත්වය යටතේ සතියකට වැඩි කාලයක් සහ සෙල්සියස් අංශක 4ක උෂ්ණත්වයක් යටතේ දිගු කාලයක් ගබඩාකර තබාගැනීමට හැකිවීමය. ඇමෙරිකාවේ 'ෆයිසර්' හෝ 'මොඩර්නා' එන්නත් එසේ කල් තබා ගැනීම කළ නොහැකිය.

ARCoVax එන්නත් පළමු සහ දෙවන අදියරේ සායනික අත්හදා බැලීම් මේ වනවිට සාර්ථකව අවසන් වී ඇතැයි චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. එන්නත සම්බන්ධයෙන් තෙවැනි අදියරේ සායනික අත්හදා බැලීම් මෙක්සිකෝවේදීත් ඉන්දුනීසියාවේදීත් සිදුකිරීමට නියමිත බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS