චීනයෙන් අප්‍රිකා රටවලට එන්නත් බිලියනයක්

අප්‍රිකා කලාපීය රටවලට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා බිලියනයක් ප්රදානය කිරීමට චීන ජනාධිපති සී ජින්පින් ප්‍රතිඥා දී ඇත. චීන ජනාධිපතිවරයා මෙසේ ප්‍රතිඥා දුන්නේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සෙනගාලයේ පැවැති අප්‍රිකා-චීන සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීය.
මෙම එන්නත් බිලියනය දකුණු අප්‍රිකා රටවල් සමඟ සම්බන්ධකම් පවත්වන චීන සමාගම් හරහා ද සෘජුව චීන රජය හරහා ද ලබා දීම සිදුවනු ඇති බව ජනාධිපති ජින්පින් පැහැදිලි කර තිබේ.
චීන රජය සෘජුව මැදිහත් වී ලබා දෙන එන්නත් මාත්‍රා ගණන මිලියන 600 ක් යැයි ද ජනාධිපතිවරයා පවසා ඇත. මේ වනවිටත් චීන රජය අප්‍රිකා කලාපීය රටවලට නොමිලේ ලබා දී ඇති එන්නත් ප්‍රමාණය මිලියන 200 ක් බව චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
'කොවිඩ් 19' වසංගතය ලෝව සෑම කෙනකුටම තර්ජනයක් බවත් එම තර්ජනයට ලොව සෑම කෙනකුම එක් වී මුහුණ දීම කළ යුතු බවත් චීන ජනාධිපතිවරයා සමුළුව අමතමින් පැහැදිලි කර තිබේ.
'කොවිඩ් 19' වයිරසයෙන් ලෝකවාසීන් ආරක්ෂා කර ගැනීමට නම්, එන්නත ලබා ගැනීමට සුදුසු වයස් කාණ්ඩයේ පසුවන සියලු දෙනාට පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබා දීම කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම පෙන්වා දී ඇත.
'ඔමික්‍රොන්' වැනි විකෘති වයිරස ප්‍රභේදයක් නිර්මාණය වූයේ එසේ එන්නත් සමානව බෙදී නොයෑම නිසා යැයි චීන ජනාධිපති සී ජින්පින් සමුළුවේ දී අවධාරණය කර ඇත.
චීනය අප්‍රිකා රටවලට එන්නත් ප්රදානය සිදු කරන්නේ එන්නත් සමානව බෙදී යෑමක් සිදුවිය යුතු නිසා යැයි ද චීන ජනාධිපතිවරයා සමුළුව අමතමින් වැඩි දුරටත් පැවැසීය.
චීනය නිපදවා ඇති 'සයිනෝෆාම්' සහ 'සිනොවැක්' යන 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දී ඇත්තේ ඒවා හදිසි භාවිතයට සුදුසු බව පෙන්වා දෙමිනි. අප්‍රිකා රටවලට ලැබෙන්නේ මෙම එන්නත්ය.
(රොයිටර්)

