චීනය සමඟ සබඳතා නවත්වන්න පසුබට නෑ



චීනය සමඟ සබඳතා අත්හිටුවීමට පසුබට නොවන බව පවසමින්, ටෙක්සාස් ජනපදයේ හූස්ටන් නුවර චීන කොන්සල් කාර්යාලය ඉවත් කර ගන්නැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චීනයට පැවැසීය.

ඇමෙරිකන් රාජන්‍ දෙපාර්තමේන්තුව කියා සිටියේ, කොන්සල් කාර්යාලය ඉවත් කර ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැය 72 ක කාලයක් ලබා දී ඇති බවය.

ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්, හූස්ටන් කොන්සල් කාර්යාලය ඉවත් කිරීමට නියෝග කිරීමත් සමඟ චීනයත්, ඇමෙරිකාවත් අතර පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උත්සන්න වනු ඇති බවත් ඇමෙරිකන් දේශපාලනික විශ්ලේෂකයෝ පවසති.

ඇමෙරිකාවත් චීනයත් අතර පසුගිය කාලය පුරාවට මත ගැටුම් නිර්මාණය විය. චීනය ඇමෙරිකානුවන්ගේ රැකියා අවස්ථා උදුරා ගන්නවා යැයි ට්‍රම්ප් චෝදනා කරන්නේ ජනපති ධුරයට පත්වුණු දා සිටය. චීනය ඇමෙරිකාවේ සතුරකු බව ට්‍රම්ප් දිගින් දිගටම පෙන්වා දුන්නේය. ට්‍රම්ප් පරිපාලනය චීනයට තීරු බදු පැනැවීමක් කළේ ද ඉන්පසුවය. චීනය ද පෙරළා ඇමෙරිකාවට තීරු බදු පැනවීය.

එහි ප්‍රථිඵලය වූයේ දෙරට අතර වෙළෙඳ යුද්ධයක් හට ගැනීමය. එම වෙළෙඳ යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටිද්දී, පසුගිය 2019 දෙසැම්බරයේ චීනයෙන් ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය ආම්භ විය.
චීනයෙන් ඇරැඹුණු වයිරසයේ අද කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකාවය. චීනයෙන් ආරම්භ වූ බැවින්, ජනාධිපති ට්‍රම්ප්, ‘චීන වයිරසය’ යන නමින් කොරෝනා වයිරසය නම් කර තිබේ. චීනයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය නිසා වයිරසය ගෝලීය වසංගතයක් වූ බවට ද ට්‍රම්ප් දොස් නගයි.

හූස්ටන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS